Saturday, 7 May 2016

පෙට්‍රල්වලට වඩා වතුර ගණං ගියේ කොහොමද?

 alt
- වතුර ලීටරයක් රු.125යි - පෙට්‍රල් ලීටරයක් රු.117යි

බෝතල් කළ ජලය ශ්‍රී ලංකාවේ වෙළෙඳ‍පොළට එක්වී මේ ගෙවී යන්නේ දවෛනි දශකයයි. සැබැවින්ම බෝතල් ජලය වෙළෙඳ‍පොළට එන අවස්ථාවේ ඊට නිසි වෙළෙඳ‍පොළක් නිර්මාණය වී තිබුණේ නැත. ඒත් කෙටි කලක් තුළ පානීය ජල බෝතල් සමාජ අවශ්‍යතාවක් වන තරමට දුරදිග ගොස් ඊට සුදුසු වෙළෙඳ‍පොළක්ද නිර්මාණය කරගන්නට සමත් වූ බව රහසක් නොවේ.
ඔබ මේ ලිපිය කියවන මොහොතේදී පානීය ජලය යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී හමාරය. වර්තමානයේ පානීය ජලය බෝතල් කිරීම ඉහළ ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වන්නට රට පුරා ජල මූලාශ්‍රවලට වස මුසුවී ඇති බවට පැතිර යන මතය හේතුවී තිබේ. වස විස මුසු ජලය පානය කිරීමට ජනයා තුළ ඇති බිය තීව්‍ර කරන්නට රජරට ප්‍රමුඛව රට පුරා පැතිර යන වකුගඩු රෝගද හේතුවක් බව පැවසිය හැක.
අදින් දශකයකට පමණ පෙර රට පුරා බෝතල් කළ ජලය නිෂ්පාදනය කළ ස්ථාන 5000කට අධික ප්‍රමාණයක් වූ බව ඇසීමෙන් පවා ඔබ පුදුමයට පත්වන්නට හැක. නමුත් සැබෑ තත්ත්වය එයයි. සම්මත ප්‍රමිතියට අනුව බෝතල් කරන ලද ජලයේ අඩංගු විය යුත්තේ ආස්‍රැත ජලය පමණි. එහෙත් පෙර සඳහන් දහස් ගණනින් යුත් කම්හල්වලට එලෙස ආස්‍රැත ජලය බෝතල් ගතකිරීමට හැකියාව නොතිබුණි. ඊට හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශය පානීය ජල බෝතල් නියාමනය අරඹා ඉතා කෙටි කලකින් පන්දහසක් පමණ වූ නිෂ්පාදකයන්  ගණන දෙතුන් සියයකට අඩුවීමය. මේ වන විට පානීය ජල බෝතල් නිපැයුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලනය සහ පරිපාලන අංශය මගින් නියාමනය කෙරේ. බෝතල් කළ පානීය ජලය ස්වාභාවික ජලය යන වර්ගීකරණය යටතේ පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදුවෙයි. එලෙස නිෂ්පාදනය කරනා ජල බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්ය දැයි අප සොයා බැලුවෙමු. එහෙත් ප්‍රමිති ආයතනය පවසනුයේ පානීය ජල බෝතල් සඳහා ප්‍රමිතියක් ඇති නමුත් එය ලබා ගැනීම අනිවාර්ය නොවනා බවයි. සැබැවින්ම මෙය පුදුම උපදවන කතාවකි. අලෙවිය සඳහා ප්‍රමිතිය අනිවාර්ය භාණ්ඩ රැසක් වෙළෙඳ‍පොළේ තිබේ. ප්‍රමිතිය අනිවාර්ය එම භාණ්ඩ ලැයිස්තුව වෙනමම ගැසට් කර ඇති අතර ඊට පානීය ජලය ඇතුළත්ව නැත. මහජන සෞඛ්‍යයට එකහෙලා බලපාන පානීය ජලය පිළිබඳ ප්‍රමිතිය අනිවාර්ය විය යුතු බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අසීරු නොවේ. පානීය ජලය සඳහා ප්‍රමිතිය ලබාගැනීම අනිවාර්ය නොමැති රටක හෙට අනිද්දා වනවිට ජල ඇසුරුම් කරනා බෝතල්වලට ප්‍රමිතියක් ගෙන එන බව දැනගන්නට තිබේ.
එයද හතරබිරි කතාවක් ලෙස අප හඳුන්වන්නේ ජලයට නැති ප්‍රමිතියක් ඇසුරුම් කරනා බෝතලවලට කුමකටදැයි යන තර්කයේ සිටය. ප්‍රමිතියෙන් තොර ජලය ප්‍රමිතියෙන් යුතු බෝතලයකට දැමූ සැනින් එහි තත්ත්වය උසස් වේ යැයි බලධාරීන් සිතනවා විය හැක.
පාරිභෝගික අධිකාරියේ මිල නියම කිරීමේ අංශයද පවසනුයේ හෙට අනිද්දාට පානීය ජල බෝතල්වලටද පාලන මිලක් හඳුන්වා දෙන බවයි. එහෙත් දශක දෙකක් පානීය ජල බෝතල් දේශීය වෙළෙඳ‍පොළේ අලෙවි වී ඇති බව ඔවුන්ට අමතකව යෑම කනගාටුවකි.
වර්තමානයේදී පානීය ජල බෝතල් අලෙවි වන ස්ථානය අනුවද මිල වෙනස් වන බව වාර්තා වෙයි. පදික වේදිකාවේ රු. 100ත් 125ත් අතර මිලකට අලෙවි වන වතුර බෝතල් පසුගිය කාලයේ සුපිරි වෙළෙඳසල්වල රු. 200ට පමණ අලෙවි විය. ඒ පිළිබඳ කළ විමසීමකදී සුපිරි    වෙළෙඳසල් සේවිකාවක පවසා සිටියේ රු. 200ක් වැනි මිලට අලෙවි වූයේ විදේශයන්ගෙන් ගෙන ආ වතුර බෝතල් බවත්, මේ වන විට ඒවා වෙළෙඳ‍පොළේ නැති බවත්ය. “දැන් ඒවා තියෙන්නේ තරු පන්තියේ හෝටල්වල විතරයි” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඇගේ ප්‍රකාශය මේ ගවේෂණයේ නවතම ප්‍රවේශයක් හෙළි කළාය. ඒ මෙතරම් වතුර තිබෙනා රටකට පිටරටින් ගෙන ඒමේ කතාන්දරයයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ජලය පානය කිරීමට තරම් විශ්වාසයක් නොමැති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නිපදවන ජල  බෝතල් ලීටරය රු. 85 සිට 125 දක්වා පරාසයකට මිල වීම තුළ මතුවන ගැටලුව වනුයේ එතරම් මිලක් ගෙවන්නේ ජලයටද නොඑසේ නම් ජලය බහාලන බෝතලයට ද යන්නයි. ජලයට ප්‍රමිතිය ලබාගැනීම අනිවාර්ය නැති රටක ඊට ඇති එකම සාධකය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට යටත්වීම පමණි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට යටත් වනුයේ ජල බෝතල් නිෂ්පාදනය පමණි. ගබඩා කිරීම, ප්‍රවාහනය වැනි කරුණු අඛණ්ඩව නියාමනය වන්නේ කෙසේද යන්න ගැටලු සහිතය.
බෝතල් කරන ලද අවස්ථාවේ මේ වතුරේ විෂබිජ නොතිබෙන්නට පිළිවන. එහෙත් මේවා ගබඩා කිරීමේදී මෙන්ම ප්‍රවාහනයේදීත් මේ තුළ විවිධ ආගන්තුක ද්‍රව්‍ය උත්පාදනයට ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම හිරු එළියට නිරාවරණය වීම නිසා ප්ලාස්ටික් විවිධ ප්‍රතික්‍රියාවන්ට බඳුන් වී ජලයට අහිතකර ටොක්සීන වර්ග එකතු වන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. එසේම ජලයේ ඇත්තේ සියලු ඛනිජ ද්‍රව්‍ය ඉවත් කරන ලද උදාසීන ජලය නම් දිගු කාලයක් එවැනි ජලය භාවිත කිරීම මගින් මිනිස් සිරුර තුළ විවිධ ඛනිජ හිඟය නිසා විවිධ ගැටලු පැන නැගිය හැක. මෙය සලකා බැලිය යුතු ගැටලුවකි. එසේ නම් ප්‍රමිතිය පවා අනිවාර්ය නැති ජලයට අප පෙට්‍රල්වලට වඩා මිලක් ගෙවන්නේ ඇයි?
පානීය ජල බෝතල් සඳහා සමාජයේ ඇත්තේ පුදුමාකාර පිළිගැනීමකි. බහුතරයක් සිතනුයේ වෙළෙඳ‍පොළෙන් ජල බෝතලයක් මිලට ගෙන පවස නිවාගැනීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක් බවයි. තවත් උදවිය සිතන්නේ එමගින් තමුන් පූර්ණ ලෙස සෞඛ්‍යාරක්ෂිත වන බවයි. තව කෙනෙකුට එය ආඩම්බරයකි. තව අයට පානීය ජල බෝතල් විලාසිතාවකි. ජල බෝතලය අතට ගත් සැනින් ඔබට දිස්වන්නේ ලානිල් පැහැයකි. ඒ ‘නිල් කැටේට තියෙන වතුර’ යන අප සිතේ නිදන්ව ඇති හැඟීමම මතුකර එයට අපවම රවටාලීමකි. බෝතලයේ ජලය නිල් පාටට දිස්වන්නේ බෝතලය නිපදවන ප්ලාස්ටික් හරහා ජලය දිස්වන නිසා මිස එහි ඇති ජලය නිල්කැටයට පිරිසිදු නිසා නොවේ. මේ සියලු කරුණු සලකා බලනවිට පානීය ජලයේ මිල මෙතරම් ඉහළ යන්නේ එහි නිෂ්පාදන මිල මතම නොව පාරිභෝගිකයාගේ සදොස් මත හා ඔවුන් විසින්ම ගොඩනගනා පුහු විශ්වාස සහ අධික ඉල්ලුම නිසා විය හැකි බව අපට නිගමනය කරන්නට සිදුවෙයි.
සැබැවින්ම පානීය ජලය පිළිබඳ ඇති විශ්වසනීය බව බිඳ වැටීම පාරිභෝගිකයා ජල බෝතල්වලට හුරු කරන්නට ප්‍රබලව බලපෑ බව අපට පිළිගැනීමට සිදුවෙයි. එහෙත් මිලට ගෙන පානය කරනා ජලය ඇතැම් විට ජල සම්පාදන මණ්ඩලය මගින් පිරිපහදු කර ඔබ වෙත නළ මගින් ලබාදෙන ජලය තරම්වත් බිමට සුදුසු නොවනා බව තහවුරුව ඇත්තේ වරක් දෙවරක් නොවේ.
අවසාන වශයෙන් ඔබට පැවැසිය යුත්තේ ජල බෝතලයේ මිල මෙතරම් ඉහළ යෑමට හේතුවී ඇත්තේ පාරිභෝගික සමාජය ඊට ලබාදුන් අසීමිත ඉල්ලුම විනා බෝතල් කළ ජලයේ ගුණාත්මක බව හෝ එහි ප්‍රමිතිය ඉහළ යෑම නිසා නොවනා බවයි.
ජලය පානය කිරීමේදී ඔබේ ඉලක්කය පිරිසිදු ජලය පානය කිරීම නම් ඔබ කළ යුත්තේ උණුකර නිවාගත් ජලය පානය කිරීමය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කළ ක්‍රමයකි. ඕනෑම වෛද්‍යවරයෙකු වසංගත පැතිර යන කාලවල පවා උණුකර නිවාගත් ජලය පානය කරන්නයි ඔබට පවසන්නේ එබැවිනි. කිසිදු වෛද්‍යවරයෙකු බෝතල් වතුර බොන්නැයි ඔබට කියා නැති බව අපට සහතිකය. ඒ බෝතල් කළ පමණින් ජලය පිරිසිදු නොවනා බැවිනි.
අදින් දශක තුන හතරකට පෙර ජලයට මිල නියම කිරීම සලකනු ලැබුවේ මිනිස්කමට නිගා දෙන කතාවක් ලෙසටය. ජලයට දේවත්වය ලබා දුන් රටක අද ප්‍රමිතියෙන් තොර ජලය මිලවන අයුරු අපට පවසනුයේ සියලු දේ අලෙවි වන සමාජයක ජලයට පමණක් පාරිභෝගික භාණ්ඩයක් නොවී සිටිය නොහැකි බවද?






(නිර්මලා කුමාරි සේනාරත්න)(LAKBIMA)

No comments:

Post a Comment