Thursday, 10 August 2017
Sunday, 8 May 2016
අවුන් සාන් සූ කී බැරක් ඔබාමා හා වෙසක් සමය!
'ගසක සෙවණ සීතල යි දෙමවුපියන්ගේ සෙවණ ඊටත් වඩා සීතල යිගුරුවරුන්ගේ සෙවණත් ඒ සීතල දනවයි.
පාලකයාගේ සෙවණ තවත් සීතල යි
බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල සෙවණ ඒ සියල්ලට වඩා සීතල යි
බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික කොන්ග්‍රසයේ නායිකා හා රාජ්‍ය සභාවේ ප්‍රධානී අවුන් සාන් සූ කී විසින් ලියන ලද 'ප්‍රීඩම් ෆ්‍රොම් ෆියර් නමැති කෘතියේ ඇති මෙම සටහනින් බුදු දහම ඇසුරෙන් ලබන්නට හැකි සැනසීමේ තරම, එහි ගැඹුර මතු වන ලෙස සරලව දක්වා ඇත. සොබා දහමෙන් ලැබෙන සැනසීම මෙන් පාලකයාගේ රාජ්‍ය පාලනය ද ජන සමාජයට සිසිල දනවන්නක් විය යුතු බව ඇය එමඟින් පෙන්වා දෙයි. රාජ්‍ය පාලනයට හෝ දේශපාලනයට හෝ බුදු දහමෙන් ලැබෙන මඟ පෙන්වීම කෙබඳූ දැ යි එයින් ඉස්මතු කෙරේ. මේ කෘතිය ඇය ලියන්නේ නිවාස අඩස්සියට පත් ව සිටිය දී ය.
වසර 15ක නිවාස අඩස්සියෙන් නිදහස් වූවාට පසු, සූ කීව දුටු පළමු දිනයේ දී ඇය ගැන ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට දැනුණු හැඟීම ඔහු මෙවර ටයිම්. සඟරාවට ලියා ඇත. මෘදු බවින් යුතු කතා විලාසයක් සහිත, සරල මෙන් ම අධිෂ්ඨානශීලී හා අභිමානවත් කාන්තාවක වන ඇයට දරා ගැනීමේ ශක්තියෙන් අනූන එකී චරිත ලක්‍ෂණ පිහිටියේ බුදු දහමේ ආභාසයෙන් බව ජනාධිපති බැරක් ඔබාමා තම කෙටි ලිපියෙන් කියා පායි. මිලියන පනහක බුරුම ජනතාවට පමණක් නො ව සාධාරණත්වය පතන මිලියන ගණනක ලෝක ජනතාවට අවුන් සාන් සූ කී යනු ප්‍රාර්ථනාවේ ආලෝකයක් බව ද ජනාධිපති ඔබාමා තව දුරටත් ලියා තබයි.
ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා විසින් ම ලියන ලද මේ කතාව පළ වූයේ මැයි මාසයේ නිකුත් කළ පළමු ටයිම් සඟරාවේ ය.
බුදුන් වහන්සේගේ තෙමඟුල සමරමින් මේ වෙසක් සමයේ දී විවිධ දාන - මාන පින්කම්වල නියැලෙන ලොව පුරා බෞද්ධ ජනයාට තමන් මුල් තැන දෙන තොරණ, දන්සල්, වෙසක් කලාප, විවිධ සැරසිලි ආදී ආමිස පූජාව ගැන තරමට ම ප්‍රතිපත්ති පූජාව ගැන ද කල්පනා කරන්නට ජනාධිපති ඔබාමාගේ ලියවිල්ල අනුබල දෙයි. ආගමික ස්වරූපයෙන් අඩු, දාර්ශනික මඟ පෙන්වීමක් වන බුදු දහම, පිළිසරණක් නැතිව හතිවැටුණු හිත්වලට නිවීමක් සිසිලක් බව අඟවයි. විශේෂයෙන් ම භෞතික සම්පත් හඹා යෑම ලෝකයට පුරුදු කළ බටහිර දේශපාලනයට, ජනාධිපති ඔබාමාගේ එකී කරුණු දැක්වීම සැනසීමේ මඟ පෙන්වන්නක් වනු ඇත.
බුදු දහමේ සිසිල දැනීම ඇරඹෙන්නේ ඉවසීම මතිනි. බටහිර සංස්කෘතියට අනුව එකිනෙකා අතර හෝ විවිධ ජාතීන් අතර හෝ සමඟිය ඇරඹෙන්නේ එකිනෙකා අතින් සිදු වූ වරද ගැන සමාව ගැනීමෙන් වුව ද බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු ජනසමාජයක එකී සමඟිය ඇරඹෙන්නේ ඉවසීමෙනි. සමාව ගැනීමේ ප්‍රතිඵලය 'ප්‍රතිසන්ධානය' වන අතර, ඉවසීමේ ප්‍රතිඵලය 'සංහිඳියාව' වේ. තම හිතට දැනෙන සුවය හෝ සංතුට්ඨිය හෙවත් තමාගේ ම යහපත අනෙකා ඉවසන්නට ඇති හැකියාව මතින් තීන්දු වෙයි. එනම්: තමාගේ ම යහපත සැලසෙන්නේ අනෙකාගේ යහපත ගැන හිතන්නට පෙලඹීම මතයි. වසර 15ක් නිවාස අඩස්සියට පත් වීම හෙවත් දේශපාලනව වට කර පහර දීම අවුන් සාන් සූ කී දරා ගෙන නැගිටින්නේ මේ ඉවසීම මතිනි.
හැකි තරම් අත්පත් කර ගැනීම හෙවත් අනෙකා පරාජය කිරීම මේ ඉවසීමේ පිළිවෙතට විරුද්ධ පැත්ත යි. ජනාධිපති බැරක් ඔබාමා නියෝජනය කරන බටහිර සමාජය විද්‍යාවට හා තාක්‍ෂණයට මුල් තැන දෙන්නට වූයේ වැඩිවැඩියෙන් අත්පත් කර ගැනීමේ තරගය පහසුවෙන් ජය ගන්නා මාර්ග සොයනු පිණිස යි. ගසේ සිසිල හෝ සොබා දහමේ සිසිල හෝ බටහිර විද්‍යාව විසින් නොසලකා හැරියේ සොබා දහම මිනිසාට පාලනය කරන්නට ඇති තැනක් ලෙස සලකමිනි. එයින් සිදු වූයේ අසහනයෙන් පිරි තාක්‍ෂණික මිනිසකු ඉතිරි වී හිතේ සුවය හෝ හිතේ මිහිර හෝ ඈතට පලා ගිය ජන සමාජයක් බිහි වීම යි. අනෙකා ඉවසීම වෙනුවට අනෙකා හඹා යන එකී තරගයෙන් පිළිසරණක් නැතැ යි යන හැඟීමෙන් හතිවැටුණු ජන සමාජයක සංස්කෘතියට නෑකම් කියන රාජ්‍ය නායකයකු වන ජනාධිපති ඔබාමා, බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු අවුන් සාන් සූ කීගේ දරා ගැනීමේ හැකියාව හා ඇයගේ නිවුණු බව බුදු දහමෙන් ලද වටිනාකමක් ලෙස දකී. එසේ දැකීම යනු තමා ද බුදු දහමේ වටිනාකම දුටු බව වෙනත් අයුරකින් ප්‍රකාශ කිරීමකි. ඉවසීම නිසා අනෙකා කෙරෙහි උපදින මෛත්‍රිය, කරුණාව, රාජ්‍ය පාලකයාගේ සෙවණ සිසිල් බවට හරවන සොබා දහමේ උල්පත බව ජනාධිපති ඔබාමාටත් දැනුණා විය හැකි යි.
අනෙකා පරදවන තරගය වෙනුවට ඉවසීමෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම හෙවත් හිතේ මිහිර විඳ ගැනීම ගැන 'ධම්ම පදය' මෙසේ පැහැදිලි කර යි.
පළමු ව ජීවිතය ගැන දැඩි අධිෂ්ඨානයක් තිබිය යුතු යි. දෙවනු ව මනා සිහියක් තිබිය යුතු යි. තෙවනු ව එදිනෙදා ජීවිතයේ සියලු වැඩ කටයුතු නිවැරදි ව කළ යුතු යි. ඊළඟට කය හා මනස සංවර ව තබා ගත යුතු යි. ධාර්මික ජීවිතයක් ගත කළ යුතු යි. ජීවිතයට අප්‍රමාද බව තිබිය යුතු යි. එවිට යසස වර්ධනය වේ.
තමා ජීවත් වන සමාජයේ තමාට පිළිසරණක් රැකවරණයක් ඇතැ යි අන්තිම දුර්වල තැනත්තාට පවා දැනී යයි නම්, සමාජ ක්‍රමයක සාධාරණ බවට ඇති හොඳ ම මිනුම එය බව අවුන් සාන් සූ කී සිය 'ප්‍රීඩම් ෆ්‍රොම් ෆියර්' කෘතියේ සඳහන් කරයි.
සාධාරණ සමාජ ක්‍රමයක් ගොඩනඟන්නට යන ගමනේ වෙහෙස නිවන සිසිල බුදුන් වහන්සේගේ ඉගැන්වීම නමැති සෙවණින් ලැබෙනු ඇත.
Saturday, 7 May 2016
රුපියලේ බාල්දුවෙන් වාහන ආනයනය නවතී
තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට සිටි අයට තවත් හෙණ ගෙඩියක් පසුගියදා පතිත වූයේය. ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ හසුරුවන පෞද්ගලික ආනයනකරුවන් විසින් මේ හෙණගෙඩිය පතිත කරනු ලැබුවේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධව මෙම පුවත්පත් සාකච්ඡා කැඳවා තිබිණ.
ඔවුන් එදින ප්‍රකාශ කළ දේ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග මේ රටේ මහජනතාවගෙන්ද විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනු දක්නට ලැබේ.
අද පවත්නා ආණ්ඩුව බලයට ආවේ විවිධාකාරයේ පොරොන්දු රැසක් ජනතාවට ලබාදෙමිනි. තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය පසුබිම සකසන බවද එම පොරොන්දු අතර විය. රටේ ජනතාවගෙන් වැඩිදෙනකු දකින මේ සිහිනයෙන් ප්‍රයෝජනය ගැනීමට ඔවුහු ඒ පිළිබඳව මැතිවරණ කාලයේ වෙළෙඳ දැන්වීම්ද ප්‍රචාරය කළහ. නමුත් තමන්ගේ පළමු අයවැයෙන්ම රථවාහන සඳහා අයකරන බදු මුදල් ඉහළ දැමීමට රජය පියවර ගත්තේය. ඒ අනුව කිසිවකු බලාපොරොත්තු නොවූ මුදලකින් රථවාහන මිල ඉහළ ගියේය. අධික රථවාහන තදබදයට වාහන සීමා කිරීම අවශ්‍ය බවත්, රට පෙළන අධික ණය බරින් මිදීම මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් බදු මුදල් අවශ්‍ය බවත් කියමින් මුදල් අමාත්‍යවරයා රටේ ජනතාවගේ අනුකම්පාව පැතුවේය. මේ අතර වාහන ආනයනකරුවන් පුන පුනා කියා සිටියේ අධික බදු බර නිසා ඉහළ ගිය වාහන මිලදී ගැනීමට මේ රටේ ජනතාවට නොහැකි බවත් වාහන අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානද වසා දමන තත්ත්වයකට පත්වී ඇති බවත්ය.
ඇතැමුන්ට මෙය තළු මර මර රහකර කෑමට රසවත් මාර්තෘකාවක් වූවා සේම සැබෑ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි තවත් පිරිසකගේ හිත් රිදවන මාර්තෘකාවක් බවටද එය පත්වූයේය. මැයි මස 02 වැනිදා සිදු කෙරුණු බදු සංශෝධනයට අනුව තවදුරටත් රථවාහන සඳහා බදු වැඩි කිරීමක් නොකිරීමට රජය වගබලා ගත්තේ එබඳු තත්ත්වයක් යටතේය. එහෙත් ඉස්තාලය වසන විටත් අශ්වයා පැනගොස් තිබුණේය. ‘කොරේ පිටට මරේ’ කියන්නා සේ රටේ ආර්ථිකය තුලනාත්මකව පවත්වාගෙන යමින් රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාමට තවමත් යහපාලන ආණ්ඩුවට හැකියාවක් ලැබි නැත. ඊට වගකිව යුත්තේ පෙර පැවැති රජය බව වත්මන් රජය පුන පුනා කීවත් රටේ ජනතාවට ඒවායින් වැඩක් නැත. ඒ අසරණභාවයෙන්ද පීඩා විඳින්නේ තීන්දු තීරණ ගන්නා ආණ්ඩුවේ උදවියමය. ශ්‍රී ලංකා වාහන ආනයනකවරුන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව සුළුවෙන් සැලකිය නොහැක්කේ ඔවුන් වටා නිත්‍ය වාහන ආනයනකරුවන් 500කට අධික සංඛ්‍යාවක් ගොනු වී සිටින නිසාය. ඔවුන් එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වා සිටියේද ඉතා සීරු මාරුවෙනි. කර්මාන්තයේ තවදුරටත් රැඳී සිටීමට නම් වෙළෙඳ ඇමැතිවරයා ප්‍රධාන කොටගත් සෙසු වගකිව යුත්තන් යාප්පුවෙන් තබා ගැනීම ඉතා වැදගත් බව ඔවුන් හොඳ හැටි දැන සිටියේය. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරනු වෙනුවට සංගම් දෙකම එදින ප්‍රකාශ කරන ලද්දේ විදේශ විනිමය උච්චාවචනය වීම හමුවේ වාහන ආනයනකරුවන් මුහුණදී සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින් මාස හයක කාලයකට බල පැවැත්වෙන පරිදි වාහන ආනයනය කිරීම නතර කර දැමීමට තමන් තීරණය කළ බවය. විශේෂයෙන්ම ජපන් යෙන් අගය මෑත කාලයේ ශීඝ්‍ර ලෙස උච්චාවචනය වීම වාහන ආනයනය කෙරෙහි විශාල වශයෙන් බලපා ඇතැයි පැවැසූ ආනයනකරුවන්ගේ සංගම් කියා සිටියේ මේ නිසා ලක්ෂ තුනහමාරක් ලක්ෂ 5ත් අතර මුදලකින් ජපන් වාහනයක මිල ඉහළ ගොස් ඇති බවය. දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන ඕනෑ තරම් ප්‍රමාණයක් ඇති නිසා විනිමය අනුපාතයේ වෙනස්වීමේ අවදානමෙන් මිදීමට තමන් ඉහත තීරණය ගත් බවද සංගමයේ නිලධාරීහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.
“එක අතකට මෙය ආණ්ඩුවටත් හොඳයි. මොකද රටේ මුදල් පිටරටට ඇදී නොයන නිසා. එතකොට විදේශ සංචිත මුදලත් ආරක්ෂා වෙනවා”
සංගමයේ නිලධාරීන් එදා එසේ කීවේ හදවතට එකඟව දැයි අපි නොදන්නෙමු. නමුත් තවත් පසෙකින් ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නතර කළහොත් රජයට අහිමි වන බදු ප්‍රමාණය ගැනද සිතා බැලිය යුතුය.
මේ සියලු කරුණු කාරණාවන්ගෙන් අවසානයට තැලෙන්නේ බදු ගෙවන මහජනතාවය. රජයේ ආදායම වැඩිකර ගන්නට පනවන විවිධ බදු නියමින් හෝ අනියමින් අවසානයට ගෙවන්නේ ඔවුහුය. එසේම සතෙන් සතේ ඉතිරි කර කුඩා මෝටර් රථයක් හිමිකර ගන්නට පෙරුම් පිරූ මෙරට මධ්‍යම පාන්තිකයා බොහෝ දුක් මහන්සියෙන් මුදලක් ඉතිරිකර ගනිමින් තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට බලා සිටි ජනතාවට හෙට තව කුමන පුවතක් අසන්නට ලැබේදැයි සැක සහිතය. ඇතැම් විට එය තමන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මැම්බර්තුමාට රුපියල් කෝටි ගණනක් වටිනා අලුත් වාහනයක් කවුන්සලයෙන් ලැබිලා යන අලුත්ම පුවතක්ද විය හැකිය.
(LAKBIMA NEWS PAPER)
තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට සිටි අයට තවත් හෙණ ගෙඩියක් පසුගියදා පතිත වූයේය. ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ හසුරුවන පෞද්ගලික ආනයනකරුවන් විසින් මේ හෙණගෙඩිය පතිත කරනු ලැබුවේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධව මෙම පුවත්පත් සාකච්ඡා කැඳවා තිබිණ.
ඔවුන් එදින ප්‍රකාශ කළ දේ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග මේ රටේ මහජනතාවගෙන්ද විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනු දක්නට ලැබේ.
අද පවත්නා ආණ්ඩුව බලයට ආවේ විවිධාකාරයේ පොරොන්දු රැසක් ජනතාවට ලබාදෙමිනි. තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය පසුබිම සකසන බවද එම පොරොන්දු අතර විය. රටේ ජනතාවගෙන් වැඩිදෙනකු දකින මේ සිහිනයෙන් ප්‍රයෝජනය ගැනීමට ඔවුහු ඒ පිළිබඳව මැතිවරණ කාලයේ වෙළෙඳ දැන්වීම්ද ප්‍රචාරය කළහ. නමුත් තමන්ගේ පළමු අයවැයෙන්ම රථවාහන සඳහා අයකරන බදු මුදල් ඉහළ දැමීමට රජය පියවර ගත්තේය. ඒ අනුව කිසිවකු බලාපොරොත්තු නොවූ මුදලකින් රථවාහන මිල ඉහළ ගියේය. අධික රථවාහන තදබදයට වාහන සීමා කිරීම අවශ්‍ය බවත්, රට පෙළන අධික ණය බරින් මිදීම මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් බදු මුදල් අවශ්‍ය බවත් කියමින් මුදල් අමාත්‍යවරයා රටේ ජනතාවගේ අනුකම්පාව පැතුවේය. මේ අතර වාහන ආනයනකරුවන් පුන පුනා කියා සිටියේ අධික බදු බර නිසා ඉහළ ගිය වාහන මිලදී ගැනීමට මේ රටේ ජනතාවට නොහැකි බවත් වාහන අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානද වසා දමන තත්ත්වයකට පත්වී ඇති බවත්ය.
ඇතැමුන්ට මෙය තළු මර මර රහකර කෑමට රසවත් මාර්තෘකාවක් වූවා සේම සැබෑ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි තවත් පිරිසකගේ හිත් රිදවන මාර්තෘකාවක් බවටද එය පත්වූයේය. මැයි මස 02 වැනිදා සිදු කෙරුණු බදු සංශෝධනයට අනුව තවදුරටත් රථවාහන සඳහා බදු වැඩි කිරීමක් නොකිරීමට රජය වගබලා ගත්තේ එබඳු තත්ත්වයක් යටතේය. එහෙත් ඉස්තාලය වසන විටත් අශ්වයා පැනගොස් තිබුණේය. ‘කොරේ පිටට මරේ’ කියන්නා සේ රටේ ආර්ථිකය තුලනාත්මකව පවත්වාගෙන යමින් රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාමට තවමත් යහපාලන ආණ්ඩුවට හැකියාවක් ලැබි නැත. ඊට වගකිව යුත්තේ පෙර පැවැති රජය බව වත්මන් රජය පුන පුනා කීවත් රටේ ජනතාවට ඒවායින් වැඩක් නැත. ඒ අසරණභාවයෙන්ද පීඩා විඳින්නේ තීන්දු තීරණ ගන්නා ආණ්ඩුවේ උදවියමය. ශ්‍රී ලංකා වාහන ආනයනකවරුන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව සුළුවෙන් සැලකිය නොහැක්කේ ඔවුන් වටා නිත්‍ය වාහන ආනයනකරුවන් 500කට අධික සංඛ්‍යාවක් ගොනු වී සිටින නිසාය. ඔවුන් එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වා සිටියේද ඉතා සීරු මාරුවෙනි. කර්මාන්තයේ තවදුරටත් රැඳී සිටීමට නම් වෙළෙඳ ඇමැතිවරයා ප්‍රධාන කොටගත් සෙසු වගකිව යුත්තන් යාප්පුවෙන් තබා ගැනීම ඉතා වැදගත් බව ඔවුන් හොඳ හැටි දැන සිටියේය. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරනු වෙනුවට සංගම් දෙකම එදින ප්‍රකාශ කරන ලද්දේ විදේශ විනිමය උච්චාවචනය වීම හමුවේ වාහන ආනයනකරුවන් මුහුණදී සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින් මාස හයක කාලයකට බල පැවැත්වෙන පරිදි වාහන ආනයනය කිරීම නතර කර දැමීමට තමන් තීරණය කළ බවය. විශේෂයෙන්ම ජපන් යෙන් අගය මෑත කාලයේ ශීඝ්‍ර ලෙස උච්චාවචනය වීම වාහන ආනයනය කෙරෙහි විශාල වශයෙන් බලපා ඇතැයි පැවැසූ ආනයනකරුවන්ගේ සංගම් කියා සිටියේ මේ නිසා ලක්ෂ තුනහමාරක් ලක්ෂ 5ත් අතර මුදලකින් ජපන් වාහනයක මිල ඉහළ ගොස් ඇති බවය. දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන ඕනෑ තරම් ප්‍රමාණයක් ඇති නිසා විනිමය අනුපාතයේ වෙනස්වීමේ අවදානමෙන් මිදීමට තමන් ඉහත තීරණය ගත් බවද සංගමයේ නිලධාරීහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.
“එක අතකට මෙය ආණ්ඩුවටත් හොඳයි. මොකද රටේ මුදල් පිටරටට ඇදී නොයන නිසා. එතකොට විදේශ සංචිත මුදලත් ආරක්ෂා වෙනවා”
සංගමයේ නිලධාරීන් එදා එසේ කීවේ හදවතට එකඟව දැයි අපි නොදන්නෙමු. නමුත් තවත් පසෙකින් ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නතර කළහොත් රජයට අහිමි වන බදු ප්‍රමාණය ගැනද සිතා බැලිය යුතුය.
මේ සියලු කරුණු කාරණාවන්ගෙන් අවසානයට තැලෙන්නේ බදු ගෙවන මහජනතාවය. රජයේ ආදායම වැඩිකර ගන්නට පනවන විවිධ බදු නියමින් හෝ අනියමින් අවසානයට ගෙවන්නේ ඔවුහුය. එසේම සතෙන් සතේ ඉතිරි කර කුඩා මෝටර් රථයක් හිමිකර ගන්නට පෙරුම් පිරූ මෙරට මධ්‍යම පාන්තිකයා බොහෝ දුක් මහන්සියෙන් මුදලක් ඉතිරිකර ගනිමින් තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට බලා සිටි ජනතාවට හෙට තව කුමන පුවතක් අසන්නට ලැබේදැයි සැක සහිතය. ඇතැම් විට එය තමන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මැම්බර්තුමාට රුපියල් කෝටි ගණනක් වටිනා අලුත් වාහනයක් කවුන්සලයෙන් ලැබිලා යන අලුත්ම පුවතක්ද විය හැකිය.
(LAKBIMA NEWS PAPER)
පෙට්‍රල්වලට වඩා වතුර ගණං ගියේ කොහොමද?
බෝතල් කළ ජලය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට එක්වී මේ ගෙවී යන්නේ දවෛනි දශකයයි. සැබැවින්ම බෝතල් ජලය වෙළෙඳපොළට එන අවස්ථාවේ ඊට නිසි වෙළෙඳපොළක් නිර්මාණය වී තිබුණේ නැත. ඒත් කෙටි කලක් තුළ පානීය ජල බෝතල් සමාජ අවශ්‍යතාවක් වන තරමට දුරදිග ගොස් ඊට සුදුසු වෙළෙඳපොළක්ද නිර්මාණය කරගන්නට සමත් වූ බව රහසක් නොවේ.
ඔබ මේ ලිපිය කියවන මොහොතේදී පානීය ජලය යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී හමාරය. වර්තමානයේ පානීය ජලය බෝතල් කිරීම ඉහළ ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වන්නට රට පුරා ජල මූලාශ්‍රවලට වස මුසුවී ඇති බවට පැතිර යන මතය හේතුවී තිබේ. වස විස මුසු ජලය පානය කිරීමට ජනයා තුළ ඇති බිය තීව්‍ර කරන්නට රජරට ප්‍රමුඛව රට පුරා පැතිර යන වකුගඩු රෝගද හේතුවක් බව පැවසිය හැක.
අදින් දශකයකට පමණ පෙර රට පුරා බෝතල් කළ ජලය නිෂ්පාදනය කළ ස්ථාන 5000කට අධික ප්‍රමාණයක් වූ බව ඇසීමෙන් පවා ඔබ පුදුමයට පත්වන්නට හැක. නමුත් සැබෑ තත්ත්වය එයයි. සම්මත ප්‍රමිතියට අනුව බෝතල් කරන ලද ජලයේ අඩංගු විය යුත්තේ ආස්‍රැත ජලය පමණි. එහෙත් පෙර සඳහන් දහස් ගණනින් යුත් කම්හල්වලට එලෙස ආස්‍රැත ජලය බෝතල් ගතකිරීමට හැකියාව නොතිබුණි. ඊට හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශය පානීය ජල බෝතල් නියාමනය අරඹා ඉතා කෙටි කලකින් පන්දහසක් පමණ වූ නිෂ්පාදකයන් ගණන දෙතුන් සියයකට අඩුවීමය. මේ වන විට පානීය ජල බෝතල් නිපැයුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලනය සහ පරිපාලන අංශය මගින් නියාමනය කෙරේ. බෝතල් කළ පානීය ජලය ස්වාභාවික ජලය යන වර්ගීකරණය යටතේ පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදුවෙයි. එලෙස නිෂ්පාදනය කරනා ජල බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්ය දැයි අප සොයා බැලුවෙමු. එහෙත් ප්‍රමිති ආයතනය පවසනුයේ පානීය ජල බෝතල් සඳහා ප්‍රමිතියක් ඇති නමුත් එය ලබා ගැනීම අනිවාර්ය නොවනා බවයි. සැබැවින්ම මෙය පුදුම උපදවන කතාවකි. අලෙවිය සඳහා ප්‍රමිතිය අනිවාර්ය භාණ්ඩ රැසක් වෙළෙඳපොළේ තිබේ. ප්‍රමිතිය අනිවාර්ය එම භාණ්ඩ ලැයිස්තුව වෙනමම ගැසට් කර ඇති අතර ඊට පානීය ජලය ඇතුළත්ව නැත. මහජන සෞඛ්‍යයට එකහෙලා බලපාන පානීය ජලය පිළිබඳ ප්‍රමිතිය අනිවාර්ය විය යුතු බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අසීරු නොවේ. පානීය ජලය සඳහා ප්‍රමිතිය ලබාගැනීම අනිවාර්ය නොමැති රටක හෙට අනිද්දා වනවිට ජල ඇසුරුම් කරනා බෝතල්වලට ප්‍රමිතියක් ගෙන එන බව දැනගන්නට තිබේ.
එයද හතරබිරි කතාවක් ලෙස අප හඳුන්වන්නේ ජලයට නැති ප්‍රමිතියක් ඇසුරුම් කරනා බෝතලවලට කුමකටදැයි යන තර්කයේ සිටය. ප්‍රමිතියෙන් තොර ජලය ප්‍රමිතියෙන් යුතු බෝතලයකට දැමූ සැනින් එහි තත්ත්වය උසස් වේ යැයි බලධාරීන් සිතනවා විය හැක.
පාරිභෝගික අධිකාරියේ මිල නියම කිරීමේ අංශයද පවසනුයේ හෙට අනිද්දාට පානීය ජල බෝතල්වලටද පාලන මිලක් හඳුන්වා දෙන බවයි. එහෙත් දශක දෙකක් පානීය ජල බෝතල් දේශීය වෙළෙඳපොළේ අලෙවි වී ඇති බව ඔවුන්ට අමතකව යෑම කනගාටුවකි.
වර්තමානයේදී පානීය ජල බෝතල් අලෙවි වන ස්ථානය අනුවද මිල වෙනස් වන බව වාර්තා වෙයි. පදික වේදිකාවේ රු. 100ත් 125ත් අතර මිලකට අලෙවි වන වතුර බෝතල් පසුගිය කාලයේ සුපිරි වෙළෙඳසල්වල රු. 200ට පමණ අලෙවි විය. ඒ පිළිබඳ කළ විමසීමකදී සුපිරි වෙළෙඳසල් සේවිකාවක පවසා සිටියේ රු. 200ක් වැනි මිලට අලෙවි වූයේ විදේශයන්ගෙන් ගෙන ආ වතුර බෝතල් බවත්, මේ වන විට ඒවා වෙළෙඳපොළේ නැති බවත්ය. “දැන් ඒවා තියෙන්නේ තරු පන්තියේ හෝටල්වල විතරයි” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඇගේ ප්‍රකාශය මේ ගවේෂණයේ නවතම ප්‍රවේශයක් හෙළි කළාය. ඒ මෙතරම් වතුර තිබෙනා රටකට පිටරටින් ගෙන ඒමේ කතාන්දරයයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ජලය පානය කිරීමට තරම් විශ්වාසයක් නොමැති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නිපදවන ජල බෝතල් ලීටරය රු. 85 සිට 125 දක්වා පරාසයකට මිල වීම තුළ මතුවන ගැටලුව වනුයේ එතරම් මිලක් ගෙවන්නේ ජලයටද නොඑසේ නම් ජලය බහාලන බෝතලයට ද යන්නයි. ජලයට ප්‍රමිතිය ලබාගැනීම අනිවාර්ය නැති රටක ඊට ඇති එකම සාධකය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට යටත්වීම පමණි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට යටත් වනුයේ ජල බෝතල් නිෂ්පාදනය පමණි. ගබඩා කිරීම, ප්‍රවාහනය වැනි කරුණු අඛණ්ඩව නියාමනය වන්නේ කෙසේද යන්න ගැටලු සහිතය.
බෝතල් කරන ලද අවස්ථාවේ මේ වතුරේ විෂබිජ නොතිබෙන්නට පිළිවන. එහෙත් මේවා ගබඩා කිරීමේදී මෙන්ම ප්‍රවාහනයේදීත් මේ තුළ විවිධ ආගන්තුක ද්‍රව්‍ය උත්පාදනයට ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම හිරු එළියට නිරාවරණය වීම නිසා ප්ලාස්ටික් විවිධ ප්‍රතික්‍රියාවන්ට බඳුන් වී ජලයට අහිතකර ටොක්සීන වර්ග එකතු වන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. එසේම ජලයේ ඇත්තේ සියලු ඛනිජ ද්‍රව්‍ය ඉවත් කරන ලද උදාසීන ජලය නම් දිගු කාලයක් එවැනි ජලය භාවිත කිරීම මගින් මිනිස් සිරුර තුළ විවිධ ඛනිජ හිඟය නිසා විවිධ ගැටලු පැන නැගිය හැක. මෙය සලකා බැලිය යුතු ගැටලුවකි. එසේ නම් ප්‍රමිතිය පවා අනිවාර්ය නැති ජලයට අප පෙට්‍රල්වලට වඩා මිලක් ගෙවන්නේ ඇයි?
පානීය ජල බෝතල් සඳහා සමාජයේ ඇත්තේ පුදුමාකාර පිළිගැනීමකි. බහුතරයක් සිතනුයේ වෙළෙඳපොළෙන් ජල බෝතලයක් මිලට ගෙන පවස නිවාගැනීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක් බවයි. තවත් උදවිය සිතන්නේ එමගින් තමුන් පූර්ණ ලෙස සෞඛ්‍යාරක්ෂිත වන බවයි. තව කෙනෙකුට එය ආඩම්බරයකි. තව අයට පානීය ජල බෝතල් විලාසිතාවකි. ජල බෝතලය අතට ගත් සැනින් ඔබට දිස්වන්නේ ලානිල් පැහැයකි. ඒ ‘නිල් කැටේට තියෙන වතුර’ යන අප සිතේ නිදන්ව ඇති හැඟීමම මතුකර එයට අපවම රවටාලීමකි. බෝතලයේ ජලය නිල් පාටට දිස්වන්නේ බෝතලය නිපදවන ප්ලාස්ටික් හරහා ජලය දිස්වන නිසා මිස එහි ඇති ජලය නිල්කැටයට පිරිසිදු නිසා නොවේ. මේ සියලු කරුණු සලකා බලනවිට පානීය ජලයේ මිල මෙතරම් ඉහළ යන්නේ එහි නිෂ්පාදන මිල මතම නොව පාරිභෝගිකයාගේ සදොස් මත හා ඔවුන් විසින්ම ගොඩනගනා පුහු විශ්වාස සහ අධික ඉල්ලුම නිසා විය හැකි බව අපට නිගමනය කරන්නට සිදුවෙයි.
සැබැවින්ම පානීය ජලය පිළිබඳ ඇති විශ්වසනීය බව බිඳ වැටීම පාරිභෝගිකයා ජල බෝතල්වලට හුරු කරන්නට ප්‍රබලව බලපෑ බව අපට පිළිගැනීමට සිදුවෙයි. එහෙත් මිලට ගෙන පානය කරනා ජලය ඇතැම් විට ජල සම්පාදන මණ්ඩලය මගින් පිරිපහදු කර ඔබ වෙත නළ මගින් ලබාදෙන ජලය තරම්වත් බිමට සුදුසු නොවනා බව තහවුරුව ඇත්තේ වරක් දෙවරක් නොවේ.
අවසාන වශයෙන් ඔබට පැවැසිය යුත්තේ ජල බෝතලයේ මිල මෙතරම් ඉහළ යෑමට හේතුවී ඇත්තේ පාරිභෝගික සමාජය ඊට ලබාදුන් අසීමිත ඉල්ලුම විනා බෝතල් කළ ජලයේ ගුණාත්මක බව හෝ එහි ප්‍රමිතිය ඉහළ යෑම නිසා නොවනා බවයි.
ජලය පානය කිරීමේදී ඔබේ ඉලක්කය පිරිසිදු ජලය පානය කිරීම නම් ඔබ කළ යුත්තේ උණුකර නිවාගත් ජලය පානය කිරීමය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කළ ක්‍රමයකි. ඕනෑම වෛද්‍යවරයෙකු වසංගත පැතිර යන කාලවල පවා උණුකර නිවාගත් ජලය පානය කරන්නයි ඔබට පවසන්නේ එබැවිනි. කිසිදු වෛද්‍යවරයෙකු බෝතල් වතුර බොන්නැයි ඔබට කියා නැති බව අපට සහතිකය. ඒ බෝතල් කළ පමණින් ජලය පිරිසිදු නොවනා බැවිනි.
අදින් දශක තුන හතරකට පෙර ජලයට මිල නියම කිරීම සලකනු ලැබුවේ මිනිස්කමට නිගා දෙන කතාවක් ලෙසටය. ජලයට දේවත්වය ලබා දුන් රටක අද ප්‍රමිතියෙන් තොර ජලය මිලවන අයුරු අපට පවසනුයේ සියලු දේ අලෙවි වන සමාජයක ජලයට පමණක් පාරිභෝගික භාණ්ඩයක් නොවී සිටිය නොහැකි බවද?
(නිර්මලා කුමාරි සේනාරත්න)(LAKBIMA)
Wednesday, 17 June 2015
උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඇයි?
උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඇයි?
විසිපස් වසරකට පසු ගමට පැමිණි ඔවුහු යළිදු සිය ඉඩම්වල සීමා මායිම් ලකුණු කරති. ගඩොලින් ගඩොල බැඳෙමින් ඔවුන්ගේ ගෙවල් දොරවල් ඉදිවේ. සමහරු මුහුදු රස්සාවට යාමට දැල් වියති. යාපනයේ සරු සාර පසේ නැවුම් සුවඳ දසත පැතිරෙන්නේ යළිදු වරක් ඒ බිමේ ගොවිතැන් බත් කෙරෙන බවට හඟවන්නාක් මෙනි. සැබැවින්ම ඔවුන්ට ගොවිතැන් බත් කර දිවි සරු කරගන්නවා මිස ඊළමක් අවශ්‍ය වූයේ නැත. එනමුත් ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය ඔවුන්ගේ සිහින බොඳකර දැම්මේය. එල්.ටී.ටී.ඊ. ඊළම වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත් විට එමානුවෙල්ලාට උපන් බිම අහිමි විය.
ඒ එක්දහස් නවසිය අනූව වසරය. ප්‍රේමදාස රජය හා එල්.ටී.ටී.ඊ. ය අතර වූ සාම සාකච්ඡා අවසන් කළ කොටි ත්‍රස්තවාදීහු 1990 ජුනි 10 වැනිදා මඩකලපුව පොලීසියට ප්‍රහාරයක් එල්ල කරමින් දෙවැනි ඊළාම් යුද්ධය ඇරඹූහ.
ඒ අතරේ සාම සාකච්ඡා සඳහා යාපනයට පැමිණ සිටි එවකට අධිකරණ ඇමැතිවරයා වූ ෂාවුල් හමීඩ් 1990 ජුනි 15 පලාලි ගුවන් කඳවුරෙන් කොළඹ බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී කොටි පලාලි කඳවුරට මෝටාර් ප්‍රහාර එල්ල කළහ. මේ අතර 1990 ජුනි මස 19 වැනිදා යාපනය කොටුවේ පිහිටි යුද හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය.
මෙම සිද්ධීන් පෙළ නිමා වීමෙන් පසුව උතුරේ හමුදා කඳවුරු ආරක්ෂා කර ගැනීම සඳහා නව ක්‍රියාමාර්ගය රැසක් ගැනීමට ත්‍රිවිධ හමුදාවට සිදුවිය. මේ නිසා එතෙක් ආරක්ෂිත කලාප බවට පමණක් සීමාකර තිබූ හමුදා කඳවුරු අධි ආරක්ෂිත කලාප බවට පත්විය. එකල අධි ආරක්ෂිත කලාප පිහිටුවීමේ මූලික අරමුණ වූයේ එල්.ටී.ටී.ඊ.යේ මෝටාර් ප්‍රහාරවලින් ආරක්ෂා වීමයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිෂ්පාදනයක් වූ මෝටාර් විදින අවිය ට්‍රැක්ටර්වල සවිකර ගත් කොටි හමුදා සෙබළුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාර සමග ආරක්ෂක කඳවුරු වටා පදිංචි වී සිටි සාමාන්‍ය ජනතාව සිය ගෙවල් දොරවල් අතහැර වන්නියට පළා ගියෝය. ඇතැමෙක් විදේශගත වූහ. මේ නිසා ජනයාගෙන් ශූන්‍ය වූ කඳවුරු වටා පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප බවට පත් කිරීමට කිසිදු බාධාවක් නොවීය.
එසේ පිහිටු වූ පලාලි අධි ආරක්ෂිත කලාපයේ සීමාව එමානුවෙල්ලාගේ ගම වූ වලලායි පසුකර තොන්නමාරු දක්වා පැතිර ගියේය. තවත් පැත්තකින් එය තෙලෙප්පලෙයි වසම දක්වා විහිදුණි. තෙලෙප්පලෙයි පිළිකා රෝහලද අධි ආරක්ෂිත කලාපයට නතුවිය. අධි ආරක්ෂිත කලාපය වටා බංකර් පෙළක් ඉදිවිය.
අධි ආරක්ෂිත කලාපයන් ලෙස හැඳින්වෙන්නේ විශේෂයෙන් ආරක්ෂා කරන ප්‍රදේශයකි. සාමාන්‍යයෙන් ඕනෑම හමුදා කඳවුරක් අවට ඇති ප්‍රදේශය ආරක්ෂක භූමියකි. සතුරු ප්‍රදේශයක පිහිටි හමුදා කඳවුරුවල අවදානම වැඩි වන බැවින් ඒ අවට ප්‍රදේශ අධි ආරක්ෂිත ප්‍රදේශ බවට පත්වේ. මෙම කලාපවල භූමි සීමා මායිම් වෙනස් විය හැකි නමුත් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළුවිය හැක්කේ හඳුනාගත් අවසර ලබාගත් පුද්ගලයන්ට පමණකි. මේ නිසා අනවසරයෙන් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළු වන්නන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමේ අයිතිය හමුදාව සතුව තිබේ.
අධි ආරක්ෂිත කලාපවලට ඇතුළු වන්නට උත්සාහ ගන්නා අයට අවවාද කිරීමේ පටන් වෙඩි තැබිම දක්වා බලයක් මෙමගින් හමුදා සෙබළුන්ට ලැබේ.
අධි ආරක්ෂිත කලාපයක් පවත්වාගෙන යාමේ මූලික අරමුණ වන්නේ එම කලාපයේ තිබෙන හමුදා කඳවුරකට එල්ල විය හැකි සතුරු ප්‍රහාරයක් කල්තියාම මැඩපැවැත්වීමය. උදාහරණයක් ලෙස සතුරු ප්‍රදේශවල පිහිටි බොහෝ හමුදා කඳවුරු අවට කිලෝ මීටර පහක පමණ දුරක වටපිටාව හමුදාව විසින් තම පාලනය යටතේ පවත්වාගෙන යනු ලැබේ.
එකල එල්.ටී.ටී.ඊ.යට පහසුවෙන් ගෙන යා හැකි මිලි මීටර් 81 මෝටාර් මගින් මීටර් හාරදහසත්, පන්දහසත් අතර ප්‍රදේශයකට පහරදිය හැකිය. මේ නිසා කඳවුරු අවට කිලෝ මීටර් පහක් තම පාලනය යටතේ තබා ගැනීම මගින් මෝටාර් ප්‍රහාර වළක්වා ගැනීමට හැකියාව ලැබුණි. එසේම තම කඳවුර වෙත එල්ල වන සතුරු ප්‍රහාරයන්ට කිලෝ මීටර් ගණනාවක් ඈතක සිට මුහුණදීම මගින් සතුරු ප්‍රහාර නිෂ්ඵල කර ගැනීමට මෙමගින් හැකි විය.
යාපනයේ අධි ආරක්ෂිත කලාප පිහිටුවනු ලැබුවේ 1995 වසරේ සිදු කළ 'රිවිරැස' මෙහෙයුමෙන් පසු යාපනයට සතුරන්ට ඇතුළු වීමට ඇති මාවත වසා දමනු පිණිසය.
රිවිරැස මෙහෙයුමට පෙර යාපනය අර්ධද්වීපයේ පැවැත්වුණු ප්‍රධානම කඳවුරු වූයේ පලාලි හා අලිමංකඩ කඳවුරු සංකීර්ණයන්ය. ගුවන් තොටුපළ සමග යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පිහිටි පලාලි යාපනයේ තිබූ වැදගත්ම හමුදා කඳවුර විය. චන්ද්‍රිකා රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති සටන් විරාමය 1995 අප්‍රේල් 18 වැනිදා බිඳවැටීමෙන් පසු පලාලි කඳවුරට පහරදීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණ විය. මේ නිසා වරින් වර ඔවුහු බර ආයුධ උපයෝගී කරගෙන කඳවුරට පහර දුන්හ. මේ නිසා වරින් වර මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පලාලි ආරක්ෂක කලාපය පුළුල් කිරීමට හමුදාවටද සිදුවිය. මේ නිසා ඒ අවට ප්‍රදේශවල උප කඳවුරු පිහිටුවනු ලැබිය.
මේ අතර මුලතිව් කඳවුර බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස එල්.ටී.ටී.ඊ.ය අතට කාලතුවක්කු ලැබිණි. මේ නිසා කිලෝ මීටර් තිහක දුරක පවා සිට හමුදාවන්ට පහර දීමේ හැකියාව එල්.ටී.ටී.ඊ.යට ලැබුණි. 2000 වසරේදී අලිමංකඩ බිඳවැටීමෙන් පසු ඉදිරියට ගමන් කළ ත්‍රස්තවාදීන් සිය කාලතුවක්කු මගින් යාපනය නගරයට හා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයටත් පහර දීමට උත්සාහ කළහ. මේ නිසා උතුරේ සිටි හතළිස් දහසක් පමණ වූ හමුදා සෙබළුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්විය.
මේ අනුව යාපනය අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප ගණනාවක් පවත්වාගෙන යාමට හමුදාවට සිදුවිය. මේ අනුව කිලාලි, නාගර්කෝවිල්, මනල්කාඩු, අච්චුවේලි, චාවකච්ච්ෙරි, අරියාලේ, යාපනය, මණ්ඩතිව්, කරෙයි නගර්, තෙලිප්පලෙයි, කන්කසන්තුරේ, පලාලි, වල්ලායි, පේදුරුතුඩුව, කොළොම්බුතුරෙයි ආදී ප්‍රදේශ දැඩි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරිණි.
ඉහත කී ආරක්ෂිත කලාප අතුරෙන් විශාලතම අධි ආරක්ෂිත කලාපය වන්නේ පලාලි අධි ආරක්ෂිත කලාපයයි. පලාලි ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා යානා ගුවන් යානා නාශක මිසයිල හා අනෙකුත් ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම මෙහි ඇති අරමුණයි.
අධි ආරක්ෂිත කලාප සම්බන්ධයෙන් 2002 සාම සාකච්ඡාවලදී බරපතළ ප්‍රශ්න උද්ගත විය. මේ සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ වාර්තාව එල්.ටී.ටී.ඊ. සංවිධානය තරයේ ප්‍රතික්ෂේප කළේය. මේ නිසා රජය ඉන්දීය යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලුතිනන් ජෙනරාල් සතිස් නම්බියාර් මහතාගේ උපදෙස් පැතීය.
අනතුරුව මෙරට පැමිණි සතිස් නම්බියාර් මේ පිළිබඳව ආරක්ෂක හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කළේය. එහිදී හමුදා ප්‍රධානීන් පෙන්වා දී තිබුණේ ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු ප්‍රහාර වැළැක්වීම සඳහා අධි ආරක්ෂක කලාප යම් මට්ටමකට පවත්වා ගෙන යා යුතු බවයි. එසේ පවත්වාගෙන ගිය අධි ආරක්ෂිත කලාප යුද්ධයෙන් පසු ලිහිල් කෙරුණේ දෙමළ ජනතාවට යළි උපන් බිම්වල අයිතිය ලබා දීමටය. එනමුත් ඒ සංවේදී කතාව දකුණේ පැතිර ගියේ වෙනත් ආකාරයටය.
මැයි මාසයේ තෙවැනි සතියේ දිනක ගාලු නගරය හරහා යුද හමුදා රිය පෙළක් මාතර දෙසට ධාවනය වෙමින් තිබුණේය. එම රථ පෙළේ තිබුණෙ කාලතුවක්කු හා යුද ටැංකිය. ගාලු බස්නැවතුම්‍පොළේ සිටි මැදිවියේ කාන්තාවක් මේ හමුදා වාහන පෙළ දුටු ගමන්ම මෙසේ කීවාය.
ඔන්න යහපාලනේ. උතුරේ හමුදා කඳවුරු ගලවලා කොටින්ට යාපනය දීලා සෙබළු දැන් දකුණට එනවාකාන්තාවගේ ඒ කතාවට බස්නැවතුම්‍පොළේ සිටි තරුණයකු පිළිතුරු බැන්දේ එසැණිනි. බොරු කියන්න එපා ඇන්ටි. ඔය කාලතුවක්කු, යුද ටැංකි අරන් යන්නේ මාතර රණවිරු පෙළපාළියට ඔහු උත්තර දුන්නේය.
මේ කාන්තාව පමණක් නොව දකුණේ ඇතැමුන් හිතන්නේ උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරමින් තිබෙන්නේ එල්.ටී.ටී.ඊ.යට යළි උතුර දීමට බවය. එබැවින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම මේ දිනවල දකුණ ගිනි තියන ආන්දෝලනාත්මක මාතෘකාවකි. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කඳවුරු ඉවත් කිරීමේ ගෝනි බිල්ලා පෙන්වමින් කියන්නේ ආණ්ඩුව කොටියාට රට පාවා දෙමින් සිටින බවය. ඒ අතරතුරේ හිටපු ජනපතිවරයාද රැස්වීමකදී කීවේ උතුරේ යළි ඊළාම් කොඩි ඔසවා ඇති බවය. ඇත්තටම උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ කොටියාට රට දෙන්නටද?
ඒ ප්‍රශ්නයට උත්තර සොයන්නට නම් යාපනය අර්ධද්වීපයට යා යුතුය. වර්ග කිලෝ මීටර් එක්දහස් දෙසිය අසූ දෙකකින් සමන්විත යාපනය අර්ධද්වීපයේ ජනගහනය හයලක්ෂ හැටපන්දහස් හයසිය අනූඅටකි. ඒ බිමේ ත්‍රිවිධ හමුදාවේ මර්මස්ථානය වූයේ පලාලි අධි ආරක්ෂිත කලාපයය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, පලාලි ගුවන් ධාවන පථය හා ගුවන් කඳවුර, කන්කසන්තුරේ උතුරු නාවික ආඥාපති මූලස්ථානය පිහිටියේ මේ අධි ආරක්ෂිත කලාපයේය. එය අක්කර එකොළොස් දහස් හයසිය විසිනවයක් පුරා විහිදුණු විශාල කඳවුරු සංකීර්ණයකින් සමන්විතව තිබුණි.
පලාලි අධි ආරක්ෂිත කලාපය දෙදහස් නවය වනතුරා නොවෙනස්ව පැවතුණි. යුද්ධය නිම වීමෙන් පසු අධි ආරක්ෂිත කලාපය යන වදන වෙනුවට ඒ බිම පලාලි හමුදා ජනපදය යනුවෙන් හැඳින්වීමට පටන් ගත්තේය. එක්දහස් නවසිය අනූහයේ සිට අක්කර එකොළොස් දහස් හයසිය විසිනවයක් පුරා විසිරී තිබූ පලාලි හමුදා ජනපදය මේ වන විට අක්කර පන්දහස් තුන්සිය හැත්තෑ තුන දක්වා අඩු වී තිබේ. ඒ පලාලි හමුදා ජනපදයට අයත්ව තිබූ අක්කර හයදහස් දෙසීය පනස් අටක් නැවත සාමාන්‍ය ජනතාව අතර බෙදා දීම නිසාය. ඒ යුද්ධය අවසන් වීමෙන් පසු තවදුරටත් මේසා විශාල ප්‍රදේශයක අධි ආරක්ෂක කලාපයක් පවත්වාගෙන යාමේ තේරුමක් නැති බැවිනි. හැරත් දැන් එල්.ටී.ටී.ඊ.යේ මෝටර් හෝ කාලතුවක්කු තර්ජන නැත. දකුණේ ඇතැම්හු යහපාලන ආණ්ඩුවෙන් කොටින්ට හමුදා කඳවුර දී ඇති බවට ගෝනි බිල්ලෙකු ලෙස පෙන්වන්නේ මේ සිද්ධියය.
කෙසේ නමුදු මේ ඉඩම් බෙදා දීම ආරම්භ කර ඇත්තේ දෙදහස් දහයේදීය. එම වසරේ ඔක්තෝබර් විසිඅටවැනිදා අක්කර තුන්සිය හැත්තෑවක්ද නොවැම්බර්
පළමු වැනිදා අක්කර එක්දහස් නවසිය පනස් දෙකක්ද දෙදහස් එකොළහේ මැයි නව වැනිදා අක්කර එක්දහස් නවසිය හැත්තෑ එකක්ද ඔක්තෝබර් හය වැනිදා අක්කර තුන්සිය හතළිස් පහක්ද නොවැම්බර් විසි නව වැනිදා අක්කර හයසිය දාහතක්ද නැවත සාමාන්‍ය ජනතාවට භාරදී තිබේ. අවසන් වරට පලාලි හමුදා ජනපදය සතුව තිබූ ඉඩම් භාර දී ඇත්තේ දෙදහස් පහළොවේ අප්‍රේල් දහ වැනිදාය. එදින අක්කර දාහක් නැවත භාර දී තිබේ.
පලාලි හමුදා ජනපදයේ මෙම ඉඩම් ඇතුළුව මුළු යාපනය අර්ධද්වීපයේම මේ වන විට ජනතාවට නැවත බාරදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර දහනවදහස් එකසිය පනස් නවයකි. තෙලෙප්පලෙයි පිළිකා රෝහල, කඩ්ඩුවාන්, වලලායි, තොන්නමාරු, වාසවිලාන් දකුණ ඇතුළු ප්‍රදේශ රැසක් දැන් යළිදු වරක් ජනතාවට ලැබි තිබේ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පවසන ආකාරයට දෙදහස් නවයේ මැයි මාසය වන විට යාපනය අර්ධද්වීපයේ ස්ථානගත කර තිබූ යුද හමුදා කඳවුරු ගණන එකසිය පනස් දෙකකි.
යුද්ධය අවසන් වූ දෙදහස් නවයේ මැයි මාසයේ සිට මේ දක්වා එම කඳවුරු ගණන අනූ තුනක් දක්වා ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබේ. යාපනය ආඥාපතිවරයා කියන්නේ එසේ කඳවුරු අඩු කිරීම හෝ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් නැවත බෙදා දීම යාපනයේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන බවය.
යාපනයේ විතරක් නොවේ රටේ හැම තැනම හමුදා ජනපද තිබෙනවා. ජාතික ආරක්ෂාවට ගන්නා තීරණ අනුව එම කඳවුරු අඩු වැඩි වෙන්න පුළුවන්. යුද්ධය අවසන් වූ පසුව ජනතාවට නැවත පදිංචි වීමට තමයි මෙම ඉඩම් නැවත භාර දුන්නේ. නමුත් බොහෝ පිරිසක් තවමත් පදිංචියට ඇවිත් නෑ. ඊට හේතුව ඔවුන් විදෙස්ගතව සිටීමයි.
පලාලි ඉඩම් බෙදා දුන්නත් කන්කසන්තුරේ වරාය, ගුවන් තොටුපොළ, තෙල් සංස්ථාව, ගුවන් හමුදාව, නාවික හමුදා කඳවුරු මෙන්ම යුද හමුදාවේ යාපනයේ පරිපාලන කටයුතු කෙරෙන ආරක්ෂක සේනා මූලස්ථානයට අවශ්‍ය භූමිය තවදුරටත් එසේ තිබෙන බව යාපනය ආඥාපතිවරයා පවසන්නේය.
මිහිරි ෆොන්සේකා
Monday, 8 June 2015
ජපන් ආක‍්‍රමණයකට බියෙන් ගාල්ලේ ගමක් කැලඹුණේ මෙහෙමයි
දෙවන ලෝක සංග‍්‍රාමයේ අමිහිරි මතකයන් මා තුළින් පහවී නැත. බොහෝ විට ඒ අමිහිරි සිද්ධී මා දුටු එසේම ඇසූ ඒවා වේ. මේ මතකයන් බොහෝ විට දැන සිටි මා හැර අපේ ගමේ වෙනත් බොහෝ අය අප හැරදා ගොස් ඇත. දෙවන ලෝක සංග‍්‍රාම කාලය තුළ මා විසින් අසන ලද හා දුටු බොහෝ දේ පිළිබඳව වාර්තා කොට තැබීම මැනවැයි මට සිතුණි. දෙවන ලෝක සංග‍්‍රාමයේ බියකරු අඳුරු සෙවණැලි බෙහෙවින් වැටී පැතිර තිබුණේ මා උපන් ගමටය. එය නමින් පිටිවැල්ල වේ. අපි එදා සිට ආදරයෙන් මතක් කළේ සුන්දර පිටිවැල්ල යනුවෙනි. පිටිවැල්ල මුහුදුබඩ ගම්මානයක් විය. මා ඉපදුණේ හැදුණේ වැඩුණේ ඒ ගම්මානයේය. එකී ගම ගාලූ නගරයේ සිට කොළඹ දෙසට සැතපුම් පහක් පමණ දුරින් පිහිටා ඇත. එය ඉතා කුඩා ගමකි. එහෙත් යුදමය අවශ්‍යතාවන් අතින් ඉතා වැදගත් වේ. ගමේ උතුරු මායිම වන්නේ මිත‍්‍ර හමුදාවන් රඳවා සිටි සුළු කඳවුරය. එහි තුළ යුද බටයින් මෙන්ම යුද සිරකරුවන්ද රඳවනු ලැබ තිබිණි. බස්නාහිර මායිම වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයයි. මේ අනුව මායිම් දෙකක් වටවී ඇත්තේ යුදමය අතින් ඉතා වැදගත් සුළු භූමියකි. 1942 වසර වනවිට ඉන්දියානු සාගරය ජගත් ආක‍්‍රමණයන්ගේ දැවැන්ත සුළු යුද පිට්ටනි ලෙසින් පැවැතුණි. ඉන්දියන් සාගරයෙන් ගොඩ බිමට බසින ජපන් ආක‍්‍රමණිකයන්ට මිත‍්‍ර හමුදා නවාතැන් ගෙන සිටින සුළු කඳවුරට පහසුවෙන්ම ළඟා විය හැක්කේ අපේ ගම තුළිනි.
මේ අනුව, අපේ ගමේ යුදමය වැදගත්කම අති මහත්ය. මේ මායිම් දෙක
අප උගත් පාසලද පිහිටා තිබුණේ යුද්ද කඳවුරේ මායිම් වැටට යාවය. උදේ පාසල් යන අපට එකී සොල්දාදුවන් සටන් හරඹ පුහුණුවනු දැකීමට ලැබේ. තුවක්කු අතැතිව බිම වැතිරෙමින් බඩගා යමින් සුළු හරඹ පුහුණුවනු අපට ඉතා හුරුපුරුදු දර්ශනයක් විය. ඒ සමඟ පාසලේ භූමිය තුළ අපටද හරඹ පුහුණුවක් සෑම දිනකම පාසල පටන් ගැනීමට පෙරාතුව අපේ ගුරුවරු ආරම්භ කරති. ඒ පුහුණුව යුද කිරීමට නොව යුද්ධයෙන් වැලකී සිටීමට කරන ව්‍යායාමයකි. මෙය සෑම දිනකම පාසල පටන් ගැනීමට පෙර පටන් ගනු ලබයි. මෙසේ ඇසෙන, දකින, විඳනු ලබන සියලූ දෙයින්ද අප තුළ තරමක් දුරට යුද මානසිකත්වයක් ඇති කෙරේ. අපේ පිටිවැල්ල ගම ළඟදීම යම්කිසි ප‍්‍රභාරයකට ලක්විය හැකි බවත්, එයින් අපට ඉතා විනාශකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත්, අපගේ වැඩි මහල්ලන්ගේ කතා බහට සවන් දීමෙන් අපටද වැටහේ.
1942 සිංහල අවුරුදු කාලය ළඟාවීමත් සමඟ අපේ ගම තුළ ක‍්‍රමයෙන් ඉතා භීෂණකාරී මෙන්ම භයංකර තත්ත්වයක් ගොඩ නැගෙමින් තිබුණි. එම දිනයේ හිරු අවරට හෙමින් යාමත් සමඟ ගෙවල් තුළ පහන් එළි දැල්වීම සීමා කෙරුණි. විශේෂයෙන්ම වෙරළට ආසන්න පෙදෙසේ පහන් දැල්වීම කිසිසේත් නොකරන ලෙස හමුදාව තද නීති පනවා තිබුණි. මේ ඇඳිරි නීතිය හේතුවෙන් ජනයාට විවිධ අපහසුතා ඇතිවිය. බොහෝ දෙනෙකුගේ ධීවර කටයුතු ඇන හිටියේය. කුමන කටයුත්තකට හෝ මුහුදු වෙරළට යාම සීමා විය. වෙරළ දිගේ නිතර කළුවරේ ගමන් කරන සොල්දාදුවෝ මේ ඇඳිරි නීතිය තදින්ම ක‍්‍රියාත්මක කළෝය. අලෝකවත් කරනු ලැබ ඇති නිවෙස් කරා වහා පැමිණීමට ඔවුහු යුහුසුළු වූහ. මුහුදු වෙරළාසන්නව පෙදෙසේ මෙසේ ගමන් කරන සොල්දාදුවන්ගෙන් නිවෙස්වල වැසියන්ට මහත් කරදරවලට මුහුණදීමට සිදුවේ. එය බොහෝ සෙයින්ම සිදුවන්නේ අප‍්‍රිකානු රටවලින් පැමිණ කඳවුරේ ලැඟුම් ගෙන සිටින කළු ජාතික අප‍්‍රිකානු සොල්දාදුවන් ගෙනි. හිරු අවරට ගොස් ගොම්මන් වෙලාව ළං වෙනවාත් සමඟ මේ කාබේරි හෙවත් කාපිරි සොල්දාදුවෝ භීෂණය පටන් ගනිති. කළුවරේ සක්මන් කරන කාබේරි හෙවත් කාපිරි සොල්දාදුවන් තමන් සමීපයට පැමිණෙන තෙක් හඳුනා ගැනීමට නොහැකිය. මේ හේතුවෙන් ගම්මු සියලූදෙනා වේලාසනින්ම නිවෙස්වල දොරවල් වසා ගනිති. තරමක් ? බෝ වූ පසු මේ සොල්දාදුවෝ පරීක්ෂා කොට බලා නිවෙස්වලට ඇතුළුවීමට උත්සාහ කරති. මෙවන් අවස්ථාවලට බියෙන් නිවෙස් තුළ වැසියෝද එකී ආක‍්‍රමණයන්ට මුහුණ දීමට සූදානම්ව සිටිති. නිවෙස්වල සිටි වැසියන් එකී ආක‍්‍රමණයන්ට ආයුද වලින් පහරදී පලවා හැරී අවස්ථාද අසන්නට ලැබුණි. මේ ව්‍යසනයට මුහුණ දීමට සිදුවූයේ බොහෝ සෙයින්ම මුහුදු වෙරළ ආසන්නයේ ජීවත්වූ අපටය. එක් නිවසකට මෙවන් ආක‍්‍රමණයක් සිදුවන විට ඒ බව ගමේ අනෙක් අයටද දන්වා සිද්ධියට අවධිමත් කිරීම පිණිස නිවැසියෝ නිවෙස් තුළ ඇලූමිනියම් භාජන වලට ගසමින් නාද කරති. මේ භීෂණකාරී තත්ත්වය ටික දිනකින් පහව ගියේය. රටේ යුද තත්ත්වය වඩ වඩාත් ළංවෙනවාත් සමඟ එය සම්පූර්ණයෙන් කෙළවර විය.
තත්ත්වය මෙසේ තිබියදී සුළු කඳවුර ආශ‍්‍රිතව මුහුදු වෙරළ ආසන්නයේ ජීවත්වූ ජනයාට මෙන්ම ඒ ආසන්නව ගම්වල ජීවත්වූ වෙනත් වැසියන්ටද උදාවේගෙන එන සුළු - තත්ත්වය හේතුවෙන් කෑම බීම අතින් එතරම් හිඟයක් දැකීමට නොවීය. රටේ පාලනය සතුව තිබුණේ සිවිල් කොමසාරිස් වෙතය. බුස්ස කඳවුර ආසන්න ගම්වල කුඹුරු ආදිය පිහිටා තිබුණි. ඒවායින් ඉතා සීමිත වී ප‍්‍රමාණයක් බොහෝ දෙනාට ලැබුණි. එසේවූයේ එකී කුඹුරු බිම්වැසියන් සන්තකයේ පැවැතුණු හේතුවෙනි. එසේම තිරිඟු පිටිද ජනයා අතර බෙදාදීම සිදු කෙරුණි. එය සීමිත ප‍්‍රමාණයකට අනුවය. තිරිඟු පිටි වලින් රොටි තම්බාගෙන කෑම බොහෝ නිවෙස්වල සිදු කෙරුණි. දවල් කාලයේ මුහුදින් ලබාගන්නා මත්ස්‍ය සම්පත මේ ගම්මානවල වැසියන්ට ප‍්‍රමාණවත් අයුරින් ලැබුණි. බොහෝ නිවෙස්වල වැසියෝ මාළු හොද්ද සමඟ රොටී කෑමට පුරුදුව සිටියහ. පාන් පිළිස්සීම කරන බේකරි වලට සීමිත අයුරු තිරිඟු පිටි රජය විසින් ලබාදෙනු ලැබූ බැවින් බේකරි හිමියන් විසින් පවුලකට සීමිත ලෙස පාන් බෙදා දෙන ලදී. මේ අනුව ලැබෙන පරිදි මාළුත් සමඟ බේකරියෙන් සීමාකොට ලැබෙන පාන් ප‍්‍රමාණයද බුක්ති විඳීමට ජනතාව ක‍්‍රමයෙන් පුරුදු වූහ.
මේ හැරෙන්නට දෙල්, කොස් ආදිය කෑමට පුරුදුව සිටි ගම්වැසියන්ට ඒවා සුලබව ලැබුණි. ඒවා මිලදී ගැනීමටද එතරම් මුදලක් වැය කිරීමට ඔවුන්ට සිදු නොවීය. ජනයා අතර මුදල් ගැවසී තිබුණු හෙයින් දෙල්, කොස්, අල, බතල ආදිය මිලට ගෙන පොල් සහ මාළු හොඳි සමඟ කෑමට පුරුදු වී සිටි හෙයින් කෑම ආදිය සම්බන්ධයෙන් යුද්ධය හේතුවෙන් කෑමවලට හිඟයත්, අඩුපාඩුවත් දැකීමට නොතිබුණි. රජයෙන් ලබාදෙන කිරිපිටි වලින් විශාල භාජනයකට සාදා ගන්නා කිරි ගම්මුලාදෑනි මහතාගේ නිවසේදී දිනපතා බෙදා දෙන ලදී. ඒවා දෙනු ලැබුවේ පාසල් වියෙහි පසුවන සිසුන් ට පානය කිරීම පිණිසය.
මේ සියල්ල හේතුවෙන් පිටිවැල්ල සහ අසල ගම්වල ජනයාට කෑම බීම පිළිබඳ එතරම් හිඟයක් දැනුණේ නැත.
1941 දෙසැම්බර් මස 07 වන දින ජර්මනියටද කිසිදු දැන්වීමක් නොකොට සිංගප්පූරුවේ පර්ල්වරයාට ජපන් හමුදාව අතිමහත් ප‍්‍රහාරයක් එල්ල කළේය. ප‍්‍රහාරයට ලක්වූයේ ඇමරිකානු නැව් සහ නාවික හා ගුවන් හමුදා භටයින් විය. ඇමරිකාව එවකටත් යුද්ධයට අවතීර්ණ වී නොසිටියේය. මෙය ජපන් හමුදාව විසින් ඇමරිකාව යුද්ධයට ඇඳ ගැනීමේ ක‍්‍රියාවක් සේ දිස් විය. 2 වන ලෝක සංග‍්‍රාමය පිළිබඳව පසුකාලීනව විශ්ලේෂණාත්මකව සලකා බැලූවහොත් බොහෝ ලේඛකයන් මේ ක‍්‍රියාව සැලකුවේ ජපානය විසින් කරන ලද මහත් අඥාන සහ මෝඩ ක‍්‍රියාවක් ලෙසිනි.
සිංගප්පූරුවේ පර්ල් වරායේ නවතා තිබූ ඇමරිකානු යුද නවුකාවලට එල්ල කරන ලද ජපන් හමුදා ප‍්‍රහාරය මෙන්ම කරන ලද විශාල විනාශය පිළිබඳ ආරංචිය ලංකාව, ඉන්දියාව ආදී ආසන්න රටවල් තුළ වහා පැතිරී ගියේය. සිවිල් ජනයා තම තමන්ගේ ආරක්ෂාව තරකර ගනිමින් පසුවිය. පර්ල් වරයාට ප‍්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව බලගතු ජපන් නාවික හමුදාව ලංකාව ඉන්දියාව අන්දමන් ¥පත් මාලදිවයින ආශ‍්‍රිතව ගමන් කරමින් කුමන හෝ අවස්ථාවකදී ලංකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් ඉන්දියන් සාගරයේ ලංකාවට දකුණු දෙසින් සැරිසරමින් පසුවන බව කොග්ගල ගුවන් තොටුපොළෙන් පිටත්ව අහසේ සැරි සැරූ ඔත්තු බැලූ ගුවන් නැවියා සැපයූ ආරංචිය ලංකාවේ නාවික හා ගුවන් හමුදාවන්ට වැදගත් ආරංචියක් විය. ලංකාවේ දෙවුන්දර තුඩුව සිට සැතැපුම් තුන්සියයක් පමණ දුරක ස්ථාන ගතව දකුණට හා ඊසාන දෙසට ජපන් නාවික හමුදාවන්හි ගමන් කරන බවට ඒ ආරංචියෙන් කියවුණේ. මේ ආරංචිය සැපයූ ගුවන් නැවියා කවරෙකුද යන්න දැන සිටියේ නැත. එසේ පසුවදී එවකට කැනඩාවේ අගමැතිව සිටි ලෙස්ටර් පියසර්න් මහතා ගුවන් කොමදෝරු බර්ෂෝල් මහතා වෙත එවන ලද ලිපියක් මඟින් හෙළි කළ පරිදි දෙවන වර ඔත්තු බැලීමට ගොස් ජපන් නාවික භටයකු විසින් වෙඩි තබනු ලැබ මුහුදට හෙලූ අහස්යානයේ සිටි ගුවන් නැවියා කැනේඩියානු ගුවන් හමුදාවට අයත් භටයකු බවය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් යුද සමයේ බි‍්‍රතාන්‍ය අගමැතිව සිටිමින් තම රට වෙනුවෙන් යුද කටයුතු මෙහෙයවූ සර් වින්ස්න්ට් චර්චිල් ජපන් හමුදාව දෙවුන්දරට ඔබ්බෙන් සැතපුම් තුන්සියයක පමණ දුරක සිට ලංකාව දෙසට ගමන් කරන බව ඇසීමෙන් හිටපු බි‍්‍රතාන්‍ය අගමැති චර්චිල් මහතා තුළ ඇතිවූ බිය සංකා ඔහු පසුව පැවැසුණු බවට වාර්තා වී ඇත. දෙවන ලෝක යුද සමයේ වින්සන්ට් චර්චිල් මැතිතුමා බි‍්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් පාක්ෂික අගමැති විය.
අති මහත් ලෝක යුද්ධයෙන් ජය ගැනීමට සර් වින්සන්ට් චර්චිල් මැතිතුමා මූලික විය. එකී මූලිකත්වයට ලොව මහජනතාව ඔහුට ස්තූතිය හා ගෞරවය පුදකළේය. එහෙත් දැවන්ත යුද්ධ ජයග‍්‍රහණයක් ළඟාකර දුන් වින්සන්ට් චර්චිල් මැතිතුමාට ඒ පිළිබඳව සතුටක් විඳගැනීමට එංගලන්තය තුළදී නොහැකි විය. යුද්ධය අවසන් වීමෙන් පසුව පැවැත්වූ මහා මැතිවරණයේදී ඔහුට එංගලන්තයේ අගමැතිකම අහිමි විය. මෙවන් අවස්ථාවකට මුහුණ දෙමින් සිටි වින්ස්ටන් චර්චිල් තුමාට ඇමරිකාවේ වොෂින්ටන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට ආරාධනාවක් ලැබිණි. ඒ එහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙනි. ඒ අනුව චර්චිල් තුමා ආරාධනය පිළිගෙන වොෂින්ටන් නුවරට ගිය අතර, එහි තවත් බොහෝ ආරාධිත අමුත්තෝ වූහ. චර්චිල් තුමා රසවත් භෝජන සංග‍්‍රහයකින් පසුව පැමිණ සිටි අමුත්තන් සමඟ සාකච්ඡුාවකට සහභාගි විය. දැවැන්ත යුද ජයග‍්‍රහණයක් සතු කර ගැනීමට මූලික වූ මේ ප‍්‍රතාපවත් පුද්ගලයා සමඟ පැමිණ සිටි ආරාධිත අමුත්තෝ සාරවත් කතා බහකට සහභාගි වූහ. ඔවුන් විසින් ඔහුගෙන් අසන ලද ප‍්‍රශ්න විවිධ කරුණු මත වූ අතර, බොහෝ සෙයින්ම ඒවා පාදක වූයේ එවකට කෙළවරකොට විජයග‍්‍රාහී වූ ලෝක සංග‍්‍රමය පිළිබඳවය.
සර් වින්ස්ටන් චර්චිල් තුමාගෙන් අසන ලද ප‍්‍රශ්න අතුරෙන් ඉතා වැදගත් වූද, කාගේත් අවධානය දැඩි ලෙස යොමුවූද ප‍්‍රශ්නයක් විය. එය මෙසේ විය. අවසන් වූ යුද්ධ ක‍්‍රියාදාමය තුළදී ඔබට ඉතාමත් භයානක ලෙස පෙනුණද, එසේම හිතට වද දුන් මොහොත ලෙසද ඔබට පෙනී ගිය මොහොත කවරේද යන්නය. එහි රැුදී සිටි අමුත්තන් බොහෝ දෙනෙකුගේ සිත් තුළ පිළිතුර පිළිබඳව විවිධ අදහස් මතුවිය. සමහරුන් සිතුවේ ඔහුට එසේ වධ දුන් භයානක මොහොත 1940 වසරේදී පමණ ජර්මානුවන් විසින් දිගින් දිගටම රටවල් ආක‍්‍රමණය කරමින් කෙරුණ යුද ආක‍්‍රමණයන්ය. තවත් සමහරුන් සිතුවේ ඔහුට සිතට වධදුන් එක් භයානක මොහොත එලෙක්සන්ඩි‍්‍රයාව සහ කෛරෝ නුවර අල්ලා ගැනීමට රොෂ්වෙල් විසින් කරනු ලැබූ ගමන යනාදී වශයෙන් වූ විවිධ අවස්ථාවන්ය. නමුත් ඔහුගේ සිතට වධදුන් එකී භයානක මොහොත මෙවන් කිසිවක් නොවීය. චර්චිල් මැතිතුමාගේ සිතට වධදුන් එකී භයානක මොහොත කුමන මොහොතක් වීද යන්න දැනගැනීමට බලාපොරොත්තුව සිටි ඒ පිරිස දෙස බලා ඔහු මෙසේ පැවසුවේය.
‘‘මගේ සිතට වධදුන් මා තුළ දැඩි චකිතයක් ඇතිකළ එකී මොහොත අන් කිසිදු මොහොතක් නොව ලංකාව සහ එහි ඇති නාවික වරායන් අල්ලා ගැනීමට ජපාන නාවික බළ ඇණියක් ලංකාව දෙසට යාත‍්‍රා කරමින් සිටින පුවත මට දැනගැනීමට ලැබුණු මොහොතය. ජපන් හමුදාව විසින් ලංකාව සහ එහි ඇති නාවික වරායක් අල්ලා ගනු ලැබීම මුළු ඉන්දියන් සාගරයේම පාලනය ඔවුන් අතට පත්වීම වේ. ඔවුන් එසේ ලංකාව අල්ලා ගනිමින් ඉන්දියන් සාගරයේ පාලනය ජපනුන් අතට පත්කර ගැනීමෙන් සහ ජර්මනුන් ඊජිප්තුව අල්ලා ගැනීමෙන් සම්පූර්ණ යුද්ධයම ජර්මානුන් සහ ජපනුන්ගේ වාසියට පෙරළේ. එයින් මිත‍්‍ර හමුදාවල ජයග‍්‍රහණයේ අඳුරු සෙවණැලි වැටීම ශීඝ‍්‍රයෙන් සිදුවේ.
තවදුරටත් කරුණු දක්වමින් චර්චිල් මැතිතුමා පවසා සිටියේ ජපාන නාවික යාත‍්‍රා හමුදාව ලංකාව දෙසට ගමන් කරනු දැන ඇත්තේ කොග්ගල අහස් යාත‍්‍රා පථයෙන් ගුවන් ගතවූ ගුවන් නැවියකු බවත් ඒ වනවිට එකී නාවික යාත‍්‍රා හමුදාව ස්ථානගතව තිබුණේ දෙවුන්දර සිට සැතපුම් තුන්සියයක් ඈත මුහුදේයි. එකී ගුවන් නැවියා කවරකුද යන්න හඳුනා ගැනීමක් නැත. නාවික යාත‍්‍රා හමුදාව පිළිබඳව ආරංචිය වහා ගොඩබිමට දීමෙන් අනතුරුව ජපනුන් එකී ගුවන් යාත‍්‍රාවට වෙඩි තබා බිම හෙළන ලදී. එකී නිර්නාමික ගුවන් නැවියා ඉන්දියන් සාගරයට වැටී ඇති බව එතුමා තවදුරටත් පැවසුවේය. එතුමාට ලැබුණු මේ ආරංචිය නොවන්නට කිසිවකුගේ දැනුමක් නොමැතිව එකී ජපාන නාවික යාත‍්‍රා හමුදාව ලංකාවට පහරදී යටත් කරගන්නවාට කිසිදු සැකයක් නැති බව එතුමා තවදුරටත් පැවසීය.
ජපන් නාවික හමුදාවත් ලංකාව දෙසට ගමන් කරන ආරංචිය ලංකාව තුළ ඉක්මනින් පැතිරෙන්න වූයෙන් ආක‍්‍රමණික ප‍්‍රභාරයකට මුහුණ දීමට ලාංකික හමුදාවෝ වහා ක‍්‍රියා කළහ. මේ හේතුවෙන් රට තුළ ජනයා කඩි ගුලක් බඳු ක‍්‍රියාශීලි විය. බුස්ස හමුදා කඳවුරේ සොල්දාදුවෝ වෙරළාසන්නව සිදුකළ සංචාරක මුරසේවා වෙනුවට මුහුදු වෙරළාසන්නයේ ආරක්ෂක අගල් තැනීම ආරම්භ කළහ. ඒ සඳහාන් වෙරළ ආරක්ෂාව සඳහාත් අපේ ගම ආසන්නයේ පිහිටි හමුදා කඳවුරෙන් යුද භටයෝ වෙරළ දිගේ ස්ථානගත වූහ. මේ අවස්ථාව වනවිටත් යුද හමුදා භටයන්ගේ ක‍්‍රියාවන්ගෙන් ආරක්ෂාව පිණිස මගේ ගමේ එනම් පිටිවැල්ලේ පවුල් රාශියක් ගම අතහැර පදිංචිය සඳහා පිටිසර පළාත්වලට ගොස් තිබුණි. ජපන් නාවික හමුදා බළ ඇණිය අප ගම්පළාත දෙසට ගමන් කරන ආරංචිය යුද හමුදා කඳවුරට ළඟාවූ විගස පිටිවැල්ල ගමේ වෙරළාසන්නව පදිංචිව සිටින සියලූ ජනයාට නිවෙස්වලින් ඉවත්වී පදිංචිය සඳහා පිටිසර පළාත්වලට යන ලෙසත් හමුදා නිලධාරින්ගෙන් විධානයක් ලැබිණි.
එකී විධානය අනුව පැය විසි හතරක් ඇතුළත අනුගමනය කරන මෙන් පැනවිණ. ඒ අනුව අණට කීකරුවීමක් ලෙසින්ද තම තමන්ගේ ආරක්ෂාව පිණිසද ගම්වාසීහු සියලූ දෙනාම ගමේ නිවෙස්වලින් ඉවත්වී පිටිසර පෙදෙස්වලට ගියහ.
සිංගප්පූරුවේ පර්ල් වරයාව පහර දීමෙන් අනතුරුව මහත් උද්දාමයට පත් ජපන් නාවික හා ගුවන් හමුදාවෝ ඉන්දියන් සාගරයේ ස්වකීය අණසක පැතිරවීම පිණිස අවශ්‍ය ස්ථාන සොයමින් ඉන්දියන් සාගරයේ දකුණු දිසාවට ආශ‍්‍රිත ස්ථාන සොයමින් යාත‍්‍රා කිරීමට වූහ. එය නන්නත්තාරේ කරනු ලැබූ ගමනක් නොව පැහැදිලි අරමුණක් ඇතිව ස්වකීය අණසක පතුරවා ගැනීම සඳහා කරන ලද යුදමය ක‍්‍රියාවලියක් විය. මීට ඉහතින් දැක්වූ පරිදි ඒ සඳහා ඔවුන්ට ලංකාව ආක‍්‍රමණය කොට අල්ලා ගැනීමට ඉතා අවශ්‍ය විය. ජපන් ආක‍්‍රමණකයන්ගේ මේ අදහස ඉටුකර ගැනීම වැලැක්වීම අවශ්‍ය සෑම කි‍්‍රයාවක් ගැනීමට බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාවෝ යුහුසුළු වූහ. මීට ඉහත දක්වන ලද පරිදි යම් හෙයකින් ජපන් ආක‍්‍රමණයන් ලංකාව ආක‍්‍රමණය කොට අල්ලා ගනු ලැබුවහොත් දකුණු ආසියාවේ සමුද්‍ර ආශ‍්‍රිත බලය ඔවුන් සතුවන්නේය.
ජපන් නාවික හා ගුවන් හමුදාවන්ගේ ආක‍්‍රමණය මැඩ පැවැත්වීම පිණිස ලංකාව තුළ ගුවන් හමුදාව රැුදවීමට සහ මිත‍්‍ර හමුදාවන් කටයුතුවල නියැළීම පහසු කරවීමට ප‍්‍රමාණවත් ගුවන් තොටුපොළවල් නොමැති බව මෙහි රැුඳී සිටි ගුවන් හමුදාපතිවරුන්ට පෙනී ගියේය. ලංකාවේ කොළඹ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගුවන් තොටුපළක් පිහිටා තිබුණේ රත්මලානේය. එයද යුදමය කටයුතු ආරම්භ වනතෙක් පැවතියේ හමුදා ගුවන් තොටුපළක් මෙන් නොව විදේශිකයන්ට ගමනා ගමනය සඳහාත් වානිජ කටයුතු පවත්වාගෙන යාම පිණිස උපයෝගී කරගත් තොටුපළක් වශයෙනි.
එසේ වුවද යුද කටයුතු ආරම්භ වීමත් සමඟ රත්මලාන ගුවන් තොටුපළ ක‍්‍රමයෙන් යුදමය කටයුතු සඳහා උපයෝගී කරගැනීමට ආරම්භ කෙරුණි. එසේ වුවද, ජපන් ආක‍්‍රමණයට තදින් මුහුණ දීම පිණිස ලංකාවේ කොළඹ ආශ‍්‍රිතව තවත් යුද ගුවන් තොටුපළක් තිබීමේ අවශ්‍යතාව එවකට ලංකාවේ යුද්ධමය කටයුතු සඳහා නියැළුණු ගුවන් හා නාවික හමුදා නායකයෝ පෙන්නා දුන්හ.
එවකට ලංකාවේ සිවිල් ආරක්ෂක කොමසාරිස් වශයෙන් කටයුතු කරන ලද්දේ පසුවදී ලංකාවේ ප‍්‍රථම ආණ්ඩුකාර පදවිය හෙබවූ සර් ඔලිවර් ගුණතිලක මහතා විසිනි. මේ අවශ්‍යතාවය ඔහු තදින් අවබෝධ කොට ගත්තේය. ඔහු අලූතින් ගුවන් තොටුපළක් කොළඹ නගරය තුළ ඉදිකිරීමට කටයුතු කිරීමට වහා යුහුසුළු විය. එවකට ලංකාවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමතිවරයා වූයේ පසුව හා ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය වූ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතාය.
කොළඹ තුළ වහා ගුවන් තොටුපළක් ඉඳි කිරීමට ඔවුන් දෙදෙනා විසින් ආරම්භ කරන ලදී. ඒ සඳහා කොළඹ තුරඟ තරග පිටියට යටවී ඇති භූමි භාගය උපයෝගී කර ගැනීම ඔවුහු තීන්දු කළහ. මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මැතිතුමා, ඉඩම් ඇමතිව සිටි හෙයින් එකී තුරඟ තරග පිටිය පවරා ගැනීම පහසු විය. එසේ වුවද ගුවන් පථය තැනීම සඳහා එහි ඇතුළත් ඉඩම් ප‍්‍රමාණය දිගින් අඩු වූ හෙයින් තුරඟ තරග පිටියෙන් ඔබ්බෙහි පිහිටි ඉඩම්ද අත්පත් කර ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් ගුවන් පථය සඳහා දිගින් ප‍්‍රමාණවත් ඉඩම් ලබාගෙන මේ අලූතින් ගුවන් තොටුපළ සකස් කෙරුණි.
මේ අනුව රත්මලානේ පිහිටි ගුවන් තොටුපළට අමතරව කොළඹ නගර මධ්‍යයේ ජපන් ප‍්‍රහාරයකට මුහුණදීම මෙසේ තවත් ගුවන් තොටුපළක් ඉදි කෙරුණි. මීට අමතරව කොග්ගල ගුවන් තොටුපළද නවීකරණය කෙරුණි. එකී ගුවන් පථය ප‍්‍රමාණයෙන් ගුවන් යානයක් ගුවන් ගත කිරීමට දිගින් ප‍්‍රමාණවත් නොවූ හෙයින් ගුවන් පථය ප‍්‍රමාණවත් අයුරින් දිගු කිරීමට ගුවන් තොටුපළට යාව පිහිටි ඉඩම්ද ප‍්‍රමාණවත් අයුරින් අත්කර ගැනුණි. ගුවන් පථයට නැගෙනහිරින් පිහිටි කළපුව හේතුවෙන් එකී ගුවන් තොටුපළ ඉතා සුන්දර දසුනක් ඇති කළේය. ත‍්‍රිකුණාමලය පිහිටි ස්වාභාවික වරාය තුළ නැව් රාශියක් යුද සමයේ නවතා තිබුණි. එකී වරායේ පිහිටීමේ ස්වභාවයට හේතුවෙන් අහසින් බලන කෙනෙකුට එහි නවතා ඇති නැව් පැහැදිලිව නොපෙනුණි. යම් හෙයකින් එකී නැව් ගුවනින් සතුරු ප‍්‍රහාරයකට ලක් වුවහොත් ඒවායේ ආරක්ෂාව සඳහා අහස් යාත‍්‍රා නවතා තැබීමට තවත් ගුවන් තොටුපළක් වරාය ආසන්නයේ තනා භාවිතයේ තිබුණි. මේ අනුව අහසින් සිදුවිය හැකි පහරදීමකට මුහුණ දීමට අහස් යාත‍්‍රා සූදානම් කොට තැබීමට ගුවන් තොටුපළ කිහිපය සකස්ව තිබුණි.
Friday, 5 June 2015
පොසොන් සඳ සිසිලේ සාධුකාර හඬ පැතිරේ...
පොසොන් සඳ දැනටමත් අහස අරා හිදී. හෙට නොව අනිද්දා රාත‍්‍රියට
සොලොස පුරා වටකුරුවට අහසට නැගෙන මේ පොසොන් සඳ මිහින්තලයත්, මහමෙව්නාවත්,
තන්තිරිමලයත් සෞම්‍ය සඳ එළියෙන් නහවනු ඇත්තේය.
සුවහසක් බැතිමතුන්ගේ මුවෙන් නැගෙන සාධු නාදය දසදෙස පැතිර යද්දී,
මිහින්තලයට, ජය ශ්‍රී මහා බෝධියට, රුවන්වැලිසෑයට, තන්තිරිමලයට මෙන්ම
අනුබුදු මිහිඳු හිමියන්ට ලියූ බැති ගී හඬද දසත පැතිරෙයි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු අපේ ජාතියේ මුදුන් මල්කඩය. සිද්ධාර්ථ බෝධිසත්වයන් බුදු බව පසක් කරගනු වස්, සෙවන පැතූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද ඉන්දියාවේද වැඩ නොවසති. එතැන වැඩවසන්සේ පසුව පැන නැගුණු බෝධියකි. එහෙත් එම මුල් බෝධියෙන්ම මතුවූ අංකුරයක් වන අපේ ශ්‍රී මහා බෝධිය වර්තමානයේදී ලොව පවතින පැරැුණිම වෘක්ෂය බවටද පත්ව තිබේ. ඉතින් මේ සිරිමා බෝධිය පිළිබඳව බොදු ගීත රචකයන් අතින් ලියැවුණු. ගායකයන්ගේ ගායිකාවන්ගේ මුවින් ගැයුණු ගීත ගණනික් රාශියකි.
ඒ අතරින් දීපිකා ප‍්‍රියදර්ශනී ගයන ජය සිරිමා හාමුදුරුවනේ ගීතය සුවිශේෂීය.
මෙම ගීතයට පද එක් කළ මහින්ද චන්ද්‍රසේකර ගීත රචකයා අනුරාධපුරයේම නැතිනම් නුවර කලාවියේම වාසයකරන්නෙකි.
ඉතින් අපි මහින්දට සවන් දෙමු.
‘‘මගේ ගම මැදවච්චිය. මේ නිසා පුංචි දවස්වල ඉඳලාම ජය ශ්‍රී මහා බෝධියට අප නිතර නිතරම වගේ එනව යනවා. හිටපු ගමන් කිරි ආහාර පාත්තරයක් අරගෙන ඇවිත් පූජාකරලා යනවා.
ඒත් 1985 දී අපේ ජයසිරි මා බෝ හාමුදුරුවන් වැඩ ඉන්න භූමියට කොටි ත‍්‍රස්තවාදීන් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළා. මේ ප‍්‍රහාරයෙන් පස්සෙ බෝධීන් වහන්සේ වඳින්න පුදන්න යන්න සිද්ධ වුණෙත් තහංචි මැද පරීක්‍ෂණවලට පවා ලක්වෙලා. දොරටුව ළඟ පොලිසිය ගෑණුන්ට එක පෝලිමක් පිරිමින්ට තව පෝලිමක්. අපි කිරි ආහාර පාත්තරයක් අරගෙන ගියොත් ඒකත් ගලෝල කූරු ගහල බලනවා මොනවහරි පුපුරන ද්‍රව්‍යයක්වත් හංගලද කියලා. ඒත් අපි මේ කිරි ආහාර පාත්තරේ අරගෙන එන්නේ පුදුම විදිහෙ ශ‍්‍රද්ධාවකින්. ලූණුවත් බලන්නෙ නැතුව.
මේ විදිහට මළුවට ඇතුල්වෙන අපිට උඩ මළුවට නම් යන්න ලැබෙන්නෙම නෑ.
ඒත් ඉස්සර, ඒ කියන්නෙ අපි පුංචි කාලේ නම් අපි කිසිම තහංචියක් නැතුව උඩ මළුවටත් ඇතුල් වුණා. ඒ කාලෙ රන්වැටක් තිබුණෙත් නැහැ. තිබුණෙ යකඩ වැට විතරයි.
ඉස්සරෝම කාලෙ මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කැලෑවෙන් වැහිල තිබිලා තියෙන්නෙ. මේ බෝධීන් වහන්සේ හොයාගත්තු හාමුදුරුවෝ තනියෙන්මයි බෝධීන් වහන්සේ රැුකගෙන තියෙන්නේ.
වියළි කාලෙට අනුරාධපුරේ වැව් ඔක්කොම හිඳෙනවා. වතුර ටිකක් ඉතුරු වෙන්නෙ තිසා වැවේ විතරයි. ඉතින් කැලේ ඉන්න අලි ඔක්කොම තිසා වැවට එනවා වතුර බොන්න. ඊට පස්සෙ මේ ගොල්ලො උඩ මළුව පැත්තට හැරෙනවා. බෝ කොළ කන්න අලි හරිම කැමැතියි. මේ කොළවල තියෙන කිරි රහට උන් ආස නිසා.
ඉතින් අලින්ගෙන් බෝධීන් වහන්සේ රැුකගන්න එක සෑහෙන ප‍්‍රශ්නයක්. බැරිම තැන හාමුදුරුවෝ බෝධීන් වහන්සේ බාරකාර ගම්වල අයට කතාකරල මේ බෝධීන් වහන්සේ රැුකගන්න එකතුවෙන්න කියලා ඉල්ලීමක් කළා.
මගේ ගම මැදවච්චිය කිව්වනෙ. මගේ ආච්චිලගේ කාලෙදි පුළුවන් තරම් දර එකතුකරගෙන කරත්ත ගණනාවක පටවගෙන මළුවට එන පුරුද්දක් තිබුණා. සතියක් තිස්සෙ රෑට ගිනි මැල ගහගෙන මේ බෝධිය අලින්ගෙන් ආරක්‍ෂා කරනවා. උදේට බෝධියට වන්දනාමාන කරනවා. පූජා පවත්වනවා. එක පැත්තකින් මේක ලොකුම පිංකමක්.
මේ කට්ටිය ආපහු යන්නේ ඊළඟ කරත්ත පේලිය අවට පස්සෙ.
ඉතිං මෙන්න මේ උපාසක නඬේක කෙනෙක් බෝධීන් වහන්සේ වන්දනා කරන්න ආවොත් ඒ ඇත්තට හරි ඇත්තියට හරි හිතෙන දේවල් තමයි මම මේ ගීතයට ලිව්වෙ.’’
ජය සිරිමා හාමුදුරුවනේ
දරමිටි ඇද්දා රෑ නිදිමැරුවා
ගිනි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ
වැලි මළුවේ හිඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුණ
අපේ බාර පිළිගන්න හොඳයි
රන්වැට පාමුල සාදු කියනකොට
ලෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි.
(සංගීතය - රෝහණ වීරසිංහ)
මහින්ද චන්ද්‍රසේකර තම දුක්ගැනවිල්ල ජය සිරිමා හාමුදුරුවන් වෙත යොමුකරද්දී තවත් ගීත රචකයකු බෝධීන් වහන්සේගේ අසිරිමත් ගුණ සමුදාය මෙනෙහි කරන්නේය.
මීගොඩ විල්සන් එවැන්නෙකි. එහු තම බැති සිත විවර කර, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින් අපේ සවනග සතපන්නේ මෙසේය.
සිරිමා බෝ වැලි මලූවේ
දැල්වෙන සිළු පහන්සිලේ
මුනි කරුණා ගුණෙන් පිරි
සිත සැනහේ නිසංසලේ
නේරංජන නදී තෙරෙන්
හමන සීත සුළං රැුල්ලෙන්
සැලෙනා බෝපත් අතරේ
සනරාමර රැස් වැතිරේ
මෙත්ගුණ පිරි නෙත් සගලේ
නිවන් සුවය රැහැන් ඇදී
නටන පහන් වැටි එළියේ
ලොව්තුරු දම් රස මතුවේ
ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ ද සිරිමා බෝ සමිඳුන්ට බැති ගී ගණනාවක්ම ලියූ ගීත රචකයෙකි. ඒ අතරින් දයාරත්න රණතුංග ගැයූ මේ ගීතයද බොදු සිත් කම්පිත කරන්නේය.
සිලි සිලි නදිනේ
සැලි සැලී පවනේ
බෝපත් සෙලවෙන්නේ
ජය සිරිමා බෝ
සමිඳුන් සෙවණේ
බුදු ගුණ උතුරන්නේ
සිහිල හමා ඒ
සුවඳ ගලා ඒ
හද වත තුළ
බැතිසිත උතුරා
ගිමන නිවී සේ
පවස සිදීයේ
අමා දියෙන්
හදවත සනහා
ජයසිරිමහා බෝ හාමුදුරුවන් හැරුණුවිට රුවන්වැලිසෑය තරම් සැදැහැවතුන්ගේ වන්දනාවටත් ගීත රචකයන්ගේ ගීපද මාලාවලටත් විෂයවූ තවත් පුණ්‍ය වස්තුවක් මහමෙව්නාවේ නම් නැත.
රන් වැලි සෑ රන්කොත මුදුනින්
රන්වන් ගණ රන් කිරණ ගලා
සම්මා සම්බුදු සිහිලස උතුරා
පින්බර දැය යළි එකළු වුණා
රත්නමාලි මහ සෑ සිරසින්
හෙළ යස රැස දියතේ පැතිරේ
පහන් හැඟුම් ඉපදිලා හදේ
නිවන් පුරට පාවඩ ඇතිරේ
දිවමන් බුදු හිමි වැඩහිඳිනා
පින්බිම තුන්ලොව වෙන කොතැනා
දුටු දන ඇස ඇස රසදුන් දී
නිවී සසර ගිම් සිත සැනසේ
ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ ගැයූ මේ ගීතයේ පද රචනය පල්ලේගම හේමරතන හිමියන්ගේය. රුවන්වැලි සෑයේ බාරකාර හිමියන් වන උන්වහන්සේ අතින් වැඩිපුරම ලියැවෙන්නේද මහමෙව්නා උයන පිළිබඳ ගීත රචනාමය!
ජය සිරිමා බෝ සමිඳුන් වෙනුවෙන් ගීත ගණනාවක්ම රචනා කළ පල්ලේගම හාමුදුරුවෝ අනුරපුරය ගැනද ගී ලියා අපේ සිත් සතන් බොදු බැතියෙන් පහන් කරති. මෙම ගී බණ යැයි මට සිතේ.
පණ්ඩිත් අමරදේවයන් ගැයූ
ඔබේ නමින් සෑය බඳිමි
නම් වූ ගීතයද මේ මොහොතේ මගේ මතකයට නැගෙයි.
ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
මහගමසේකර පද රචනා කර ඇති මේ ගීතයේ පසුබිම අපූරු කතාන්තරයකි.
දුටුගැමුණු රජු මේ මහා චෛත්‍යය ඉදිකරන්නට තීරණය කළ ස්ථානයේ විශාල රන් තෙලඹු ගහක් විය. මේ ගස කපන්නට යන සෑමවිටකම ඊට බාධා කෙරිණි. ඒ බාධාව කළේ මේ ගසට අරක් ගෙනසිටි ස්වර්ණමාලි නම්වූ වෘක්‍ෂ දේවතාවියයි. අවසානයේදී මේ දෙවඟන බිමට බැස ඉල්ලීමක් කළාය. ඇගේ විමානය හැර යන්නට නම් මේ හදන්නට යන චෛත්‍යයට ඇගේ නම යෙදිය යුතුය යන්නයි. මෙතැන ඉදිකළ මහා සෑය ස්වර්ණමාලි මහා චෛත්‍යය ලෙස නම් කෙරුණේ ඒ අනුවය.
මහගමසේකරගේ මෙම ගී පදවැලට පසුබිම් වූයේ අන්න ඒ කතාවය.
ජයසිරිමා බෝධිය රුවන්වැලි සෑය මිහින්තලය හැරුණු විට රජරට අනෙක් පින්බිම ලෙස පොසොන් සඳට ආලෝකවත් වන්නේ තන්තිරිමලයයි.
පොසොන් පෝදා විදුලිය බුබුලෙන් නැහැවෙන තන්තිරිමලේ චෛත්‍යය ආලෝක පූජාවට බැතිබර දායකත්වය ලබා දෙනු ලබන්නේ විජය පුවත්පත් සමාගම විසින් වීමද අපට ආඩම්බරයකි.
සඟමිත් තෙරණිය ජයසිරිමා බෝ අංකුරය වැඩමවද්දී, එක් රාත‍්‍රියක නවාතැන් ලැබුණේ එවකට තිවන්ක බමුණුගම ලෙස හැදින්වුණු තන්තිරිමලේ ගල් තලාවේදීය. පසු කලෙක මේ ජයසිරිමා බෝ රදුන්ගේ අෂ්ට ඵලයකින් හටගත් බෝධියක් තන්තිරිමලයේ රෝපණය කෙරිණි.
මෙන්න මේ තන්තිරිමලය පිළිබඳව ද ගීතයක් ලියැවී තිබේ. එහි පදරචකයා ද අනුරාධපුරයේම උපන් මහින්ද දිසානායක වීම සුවිශේෂ කාරණයකි.
සිරිමා බෝ හිමි ගිමන් නිවූ තැන
අටපල රුක බෝ රදුන් රැඳුණු බිම
දුකින් තැලෙන සිත් සුවපත් කරවන
මහ වෙහෙර තන්තිරිමලේ
දෙව්රමකි මේ මිහිතලේ
ගල් කුළු අතරින් බුදුරුව මතුවෙන
සිරස පුරා දුටුවා මෙනි මුනිතුම
පොකුණින් සිල් මල් සුවඳ ගලාගෙන
මහ වෙහෙර තන්තිරිමලේ
දෙව්රමකි මේ මිහිතලේ
තිවක්කගම මහ වන පෙත විනිවිද
අහස උසට නැගිලා මහදාගැබ
සඳක් වෙලා රෑ එළියේ බැබලෙන
මහ වෙහෙර තන්තිරිමලේ
දෙව්රමකි මේ මිහිතලේ
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ ගැයූ මේ ගීතය පිළිබඳව මහින්ද දිසානායක කියන කතාවට අපි මොහොතකට සවන් දෙමු.
මම උපන්නෙ විලච්චියෙ දුනුමඩලාව කියන ගමේ. මේ ගම තියෙන්නෙ තන්තිරිමලය කිට්ටුව. මේ නිසා ගමට යන හැම දවසකම වගේ තන්තිරිමලේට ගිහිල්ල නායක හාමුදරුවෝ මුණගැහෙන පුරුද්දක් මගේ ළඟ තියෙනවා. එහෙම ගිය එක දවසක උන්වහන්සේ මගෙන් අහනවා තන්තිරිමලේ ගැන ලියැවුණු ගීතයක් නැති එක ලොකු අඩුවක් නිසා ගීතයක් ලියන්න බැරිද කියලා.
මේ ගීතය ලියැවෙන්නෙ අන්න ඒ ඉල්ලීම අනුවයි.
තන්තිරිමලේ කාලයක් කැලේට ගිහින් තිබුණු පින්බිමක්. කලින් හිටපු ලොකු හාමුදුරුවො තමයි මේ පින්බිමට ඇවිත් අවට සෙනඟ පදිංචිකරලා මේ පින්බිම රැකගත්තෙ. අද තියෙන විදිහට සංවර්ධනය කළේ. ඇත්තෙන්ම අද තන්තිරිමලේ තිබෙන්නෙ ලොකු සෙනඟක් එන පින්බිමක්. මේ පින්බිම ගැන ගීතයක් ලියන්න ලැබීම වාසනාවක් කියල මම හිතනවා.’’
තන්තිරිමලේ යනු සුන්දර ගල්තලාවකි. චෛත්‍යය ද බෝධින් වහන්සේද වැඩ සිටින්නේ ඒ ගල්තලාව මතුපිටය.
මේ ගීතය ඇසෙනවිට මතකය වැළඳ ගන්නේ අන්න ඒ සුන්දර භූමි දර්ශනයයි.
අනිද්දා රාත‍්‍රියට සඳ පහන ගලන විට මේ පින්බිම මොනතරම් සුන්දරද? තව තවත් බැති ගී ලියන්නට ගීත රචකයන්ගේ පෑන් තුඩුවලට ශක්තිය ලැබෙනු නියතය.
ශාන්ත කුමාර විතාන- ලංකාදීප පුවත්පත ඇසුරිනි.
Subscribe to:
Posts (Atom)



