Sunday, 8 May 2016

අවුන් සාන් සූ කී බැරක් ඔබාමා හා වෙසක් සමය!

'ගසක සෙවණ සීතල යි දෙමවුපියන්ගේ සෙවණ ඊටත් වඩා සීතල යි
ගුරුවරුන්ගේ සෙවණත් ඒ සීතල දනවයි.
පාලකයාගේ සෙවණ තවත් සීතල යි
බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල සෙවණ ඒ සියල්ලට වඩා සීතල යි

බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික කොන්ග්‍රසයේ නායිකා හා රාජ්‍ය සභාවේ ප්‍රධානී අවුන් සාන් සූ කී විසින් ලියන ලද 'ප්‍රීඩම් ෆ්‍රොම් ෆියර් නමැති කෘතියේ ඇති මෙම සටහනින් බුදු දහම ඇසුරෙන් ලබන්නට හැකි සැනසීමේ තරම, එහි ගැඹුර මතු වන ලෙස සරලව දක්වා ඇත. සොබා දහමෙන් ලැබෙන සැනසීම මෙන් පාලකයාගේ රාජ්‍ය පාලනය ද ජන සමාජයට සිසිල දනවන්නක් විය යුතු බව ඇය එමඟින් පෙන්වා දෙයි. රාජ්‍ය පාලනයට හෝ දේශපාලනයට හෝ බුදු දහමෙන් ලැබෙන මඟ පෙන්වීම කෙබඳූ දැ යි එයින් ඉස්මතු කෙරේ. මේ කෘතිය ඇය ලියන්නේ නිවාස අඩස්සියට පත් ව සිටිය දී ය.
වසර 15ක නිවාස අඩස්සියෙන් නිදහස් වූවාට පසු, සූ කීව දුටු පළමු දිනයේ දී ඇය ගැන ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට දැනුණු හැඟීම ඔහු මෙවර ටයිම්. සඟරාවට ලියා ඇත. මෘදු බවින් යුතු කතා විලාසයක් සහිත, සරල මෙන් ම අධිෂ්ඨානශීලී හා අභිමානවත් කාන්තාවක වන ඇයට දරා ගැනීමේ ශක්තියෙන් අනූන එකී චරිත ලක්‍ෂණ පිහිටියේ බුදු දහමේ ආභාසයෙන් බව ජනාධිපති බැරක් ඔබාමා තම කෙටි ලිපියෙන් කියා පායි. මිලියන පනහක බුරුම ජනතාවට පමණක් නො ව සාධාරණත්වය පතන මිලියන ගණනක ලෝක ජනතාවට අවුන් සාන් සූ කී යනු ප්‍රාර්ථනාවේ ආලෝකයක් බව ද ජනාධිපති ඔබාමා තව දුරටත් ලියා තබයි.
ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා විසින් ම ලියන ලද මේ කතාව පළ වූයේ මැයි මාසයේ නිකුත් කළ පළමු ටයිම් සඟරාවේ ය.
බුදුන් වහන්සේගේ තෙමඟුල සමරමින් මේ වෙසක් සමයේ දී විවිධ දාන - මාන පින්කම්වල නියැලෙන ලොව පුරා බෞද්ධ ජනයාට තමන් මුල් තැන දෙන තොරණ, දන්සල්, වෙසක් කලාප, විවිධ සැරසිලි ආදී ආමිස පූජාව ගැන තරමට ම ප්‍රතිපත්ති පූජාව ගැන ද කල්පනා කරන්නට ජනාධිපති ඔබාමාගේ ලියවිල්ල අනුබල දෙයි. ආගමික ස්වරූපයෙන් අඩු, දාර්ශනික මඟ පෙන්වීමක් වන බුදු දහම, පිළිසරණක් නැතිව හතිවැටුණු හිත්වලට නිවීමක් සිසිලක් බව අඟවයි. විශේෂයෙන් ම භෞතික සම්පත් හඹා යෑම ලෝකයට පුරුදු කළ බටහිර දේශපාලනයට, ජනාධිපති ඔබාමාගේ එකී කරුණු දැක්වීම සැනසීමේ මඟ පෙන්වන්නක් වනු ඇත.
බුදු දහමේ සිසිල දැනීම ඇරඹෙන්නේ ඉවසීම මතිනි. බටහිර සංස්කෘතියට අනුව එකිනෙකා අතර හෝ විවිධ ජාතීන් අතර හෝ සමඟිය ඇරඹෙන්නේ එකිනෙකා අතින් සිදු වූ වරද ගැන සමාව ගැනීමෙන් වුව ද බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු ජනසමාජයක එකී සමඟිය ඇරඹෙන්නේ ඉවසීමෙනි. සමාව ගැනීමේ ප්‍රතිඵලය 'ප්‍රතිසන්ධානය' වන අතර, ඉවසීමේ ප්‍රතිඵලය 'සංහිඳියාව' වේ. තම හිතට දැනෙන සුවය හෝ සංතුට්ඨිය හෙවත් තමාගේ ම යහපත අනෙකා ඉවසන්නට ඇති හැකියාව මතින් තීන්දු වෙයි. එනම්: තමාගේ ම යහපත සැලසෙන්නේ අනෙකාගේ යහපත ගැන හිතන්නට පෙලඹීම මතයි. වසර 15ක් නිවාස අඩස්සියට පත් වීම හෙවත් දේශපාලනව වට කර පහර දීම අවුන් සාන් සූ කී දරා ගෙන නැගිටින්නේ මේ ඉවසීම මතිනි.
හැකි තරම් අත්පත් කර ගැනීම හෙවත් අනෙකා පරාජය කිරීම මේ ඉවසීමේ පිළිවෙතට විරුද්ධ පැත්ත යි. ජනාධිපති බැරක් ඔබාමා නියෝජනය කරන බටහිර සමාජය විද්‍යාවට හා තාක්‍ෂණයට මුල් තැන දෙන්නට වූයේ වැඩිවැඩියෙන් අත්පත් කර ගැනීමේ තරගය පහසුවෙන් ජය ගන්නා මාර්ග සොයනු පිණිස යි. ගසේ සිසිල හෝ සොබා දහමේ සිසිල හෝ බටහිර විද්‍යාව විසින් නොසලකා හැරියේ සොබා දහම මිනිසාට පාලනය කරන්නට ඇති තැනක් ලෙස සලකමිනි. එයින් සිදු වූයේ අසහනයෙන් පිරි තාක්‍ෂණික මිනිසකු ඉතිරි වී හිතේ සුවය හෝ හිතේ මිහිර හෝ ඈතට පලා ගිය ජන සමාජයක් බිහි වීම යි. අනෙකා ඉවසීම වෙනුවට අනෙකා හඹා යන එකී තරගයෙන් පිළිසරණක් නැතැ යි යන හැඟීමෙන් හතිවැටුණු ජන සමාජයක සංස්කෘතියට නෑකම් කියන රාජ්‍ය නායකයකු වන ජනාධිපති ඔබාමා, බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු අවුන් සාන් සූ කීගේ දරා ගැනීමේ හැකියාව හා ඇයගේ නිවුණු බව බුදු දහමෙන් ලද වටිනාකමක් ලෙස දකී. එසේ දැකීම යනු තමා ද බුදු දහමේ වටිනාකම දුටු බව වෙනත් අයුරකින් ප්‍රකාශ කිරීමකි. ඉවසීම නිසා අනෙකා කෙරෙහි උපදින මෛත්‍රිය, කරුණාව, රාජ්‍ය පාලකයාගේ සෙවණ සිසිල් බවට හරවන සොබා දහමේ උල්පත බව ජනාධිපති ඔබාමාටත් දැනුණා විය හැකි යි.
අනෙකා පරදවන තරගය වෙනුවට ඉවසීමෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම හෙවත් හිතේ මිහිර විඳ ගැනීම ගැන 'ධම්ම පදය' මෙසේ පැහැදිලි කර යි.
පළමු ව ජීවිතය ගැන දැඩි අධිෂ්ඨානයක් තිබිය යුතු යි. දෙවනු ව මනා සිහියක් තිබිය යුතු යි. තෙවනු ව එදිනෙදා ජීවිතයේ සියලු වැඩ කටයුතු නිවැරදි ව කළ යුතු යි. ඊළඟට කය හා මනස සංවර ව තබා ගත යුතු යි. ධාර්මික ජීවිතයක් ගත කළ යුතු යි. ජීවිතයට අප්‍රමාද බව තිබිය යුතු යි. එවිට යසස වර්ධනය වේ.
තමා ජීවත් වන සමාජයේ තමාට පිළිසරණක් රැකවරණයක් ඇතැ යි අන්තිම දුර්වල තැනත්තාට පවා දැනී යයි නම්, සමාජ ක්‍රමයක සාධාරණ බවට ඇති හොඳ ම මිනුම එය බව අවුන් සාන් සූ කී සිය 'ප්‍රීඩම් ෆ්‍රොම් ෆියර්' කෘතියේ සඳහන් කරයි.
සාධාරණ සමාජ ක්‍රමයක් ගොඩනඟන්නට යන ගමනේ වෙහෙස නිවන සිසිල බුදුන් වහන්සේගේ ඉගැන්වීම නමැති සෙවණින් ලැබෙනු ඇත.

Saturday, 7 May 2016

රුපිය‍ලේ බාල්දුවෙන් වාහන ආනයනය නවතී

තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට සිටි අයට තවත් හෙණ ගෙඩියක් පසුගියදා පතිත වූයේය. ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ‍පොළ හසුරුවන පෞද්ගලික ආනයනකරුවන් විසින් මේ හෙණගෙඩිය පතිත කරනු ලැබුවේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධව මෙම පුවත්පත් සාකච්ඡා කැඳවා තිබිණ.
ඔවුන් එදින ප්‍රකාශ කළ දේ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග මේ රටේ මහජනතාවගෙන්ද විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනු දක්නට ලැබේ.
අද පවත්නා ආණ්ඩුව බලයට ආවේ විවිධාකාරයේ ‍පොරොන්දු රැසක් ජනතාවට ලබාදෙමිනි. තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය පසුබිම සකසන බවද එම ‍පොරොන්දු අතර විය. රටේ ජනතාවගෙන් වැඩිදෙනකු දකින මේ සිහිනයෙන් ප්‍රයෝජනය ගැනීමට ඔවුහු ඒ පිළිබඳව මැතිවරණ කාලයේ වෙළෙඳ දැන්වීම්ද ප්‍රචාරය කළහ. නමුත් තමන්ගේ පළමු අයවැයෙන්ම රථවාහන සඳහා අයකරන බදු මුදල් ඉහළ දැමීමට රජය පියවර ගත්තේය. ඒ අනුව කිසිවකු බලා‍පොරොත්තු නොවූ මුදලකින් රථවාහන මිල ඉහළ ගියේය. අධික රථවාහන තදබදයට වාහන සීමා කිරීම අවශ්‍ය බවත්, රට පෙළන අධික ණය බරින් මිදීම මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් බදු මුදල් අවශ්‍ය බවත් කියමින් මුදල් අමාත්‍යවරයා රටේ ජනතාවගේ අනුකම්පාව පැතුවේය. මේ අතර වාහන ආනයනකරුවන් පුන පුනා කියා සිටියේ අධික බදු බර නිසා ඉහළ ගිය වාහන මිලදී ගැනීමට මේ රටේ ජනතාවට නොහැකි බවත් වාහන අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානද වසා දමන තත්ත්වයකට පත්වී ඇති බවත්ය.
ඇතැමුන්ට මෙය තළු මර මර රහකර කෑමට රසවත් මාර්තෘකාවක් වූවා සේම සැබෑ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි තවත් පිරිසකගේ හිත් රිදවන මාර්තෘකාවක් බවටද එය පත්වූයේය. මැයි මස 02 වැනිදා සිදු කෙරුණු බදු සංශෝධනයට අනුව තවදුරටත් රථවාහන සඳහා බදු වැඩි කිරීමක් නොකිරීමට රජය වගබලා ගත්තේ එබඳු තත්ත්වයක් යටතේය. එහෙත් ඉස්තාලය වසන විටත් අශ්වයා පැනගොස් තිබුණේය. ‘කොරේ පිටට මරේ’ කියන්නා සේ රටේ ආර්ථිකය තුලනාත්මකව පවත්වාගෙන යමින් රුපිය‍ලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාමට තවමත් යහපාලන ආණ්ඩුවට හැකියාවක් ලැබි නැත. ඊට වගකිව යුත්තේ පෙර පැවැති රජය බව වත්මන් රජය පුන පුනා කීවත් රටේ ජනතාවට ඒවායින් වැඩක් නැත. ඒ අසරණභාවයෙන්ද පීඩා විඳින්නේ තීන්දු තීරණ ගන්නා ආණ්ඩුවේ උදවියමය. ශ්‍රී ලංකා වාහන ආනයනකවරුන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව සුළුවෙන් සැලකිය නොහැක්කේ ඔවුන් වටා නිත්‍ය වාහන ආනයනකරුවන් 500කට අධික සංඛ්‍යාවක් ගොනු වී සිටින නිසාය. ඔවුන් එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වා සිටියේද ඉතා සීරු මාරුවෙනි. කර්මාන්තයේ තවදුරටත් රැඳී සිටීමට නම් වෙළෙඳ ඇමැතිවරයා ප්‍රධාන කොටගත් සෙසු වගකිව යුත්තන් යාප්පුවෙන් තබා ගැනීම ඉතා වැදගත් බව ඔවුන් හොඳ හැටි දැන සිටියේය. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරනු වෙනුවට සංගම් දෙකම එදින ප්‍රකාශ කරන ලද්දේ විදේශ විනිමය උච්චාවචනය වීම හමුවේ වාහන ආනයනකරුවන් මුහුණදී සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින් මාස හයක කාලයකට බල පැවැත්වෙන පරිදි වාහන ආනයනය කිරීම නතර කර දැමීමට තමන් තීරණය කළ බවය. විශේෂයෙන්ම ජපන් යෙන් අගය මෑත කාලයේ ශීඝ්‍ර ලෙස උච්චාවචනය වීම වාහන ආනයනය කෙරෙහි විශාල වශයෙන් බලපා ඇතැයි පැවැසූ ආනයනකරුවන්ගේ සංගම් කියා සිටියේ මේ නිසා ලක්ෂ තුනහමාරක් ලක්ෂ 5ත් අතර මුදලකින් ජපන් වාහනයක මිල ඉහළ ගොස් ඇති බවය. දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන ඕනෑ තරම් ප්‍රමාණයක් ඇති නිසා විනිමය අනුපාතයේ වෙනස්වීමේ අවදානමෙන් මිදීමට තමන් ඉහත තීරණය ගත් බවද සංගමයේ නිලධාරීහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.
“එක අතකට මෙය ආණ්ඩුවටත් හොඳයි. මොකද රටේ මුදල් පිටරටට ඇදී නොයන නිසා. එතකොට විදේශ සංචිත මුදලත් ආරක්ෂා වෙනවා”
සංගමයේ නිලධාරීන් එදා එසේ කීවේ හදවතට එකඟව දැයි අපි නොදන්නෙමු. නමුත් තවත් පසෙකින් ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නතර කළහොත් රජයට අහිමි වන බදු ප්‍රමාණය ගැනද සිතා බැලිය යුතුය.
මේ සියලු කරුණු කාරණාවන්ගෙන් අවසානයට තැලෙන්නේ බදු ගෙවන මහජනතාවය. රජයේ ආදායම වැඩිකර ගන්නට පනවන විවිධ බදු නියමින් හෝ අනියමින් අවසානයට ගෙවන්නේ ඔවුහුය. එසේම සතෙන් සතේ ඉතිරි කර  කුඩා මෝටර් රථයක් හිමිකර ගන්නට පෙරුම් පිරූ මෙරට මධ්‍යම පාන්තිකයා බොහෝ දුක් මහන්සියෙන් මුදලක් ඉතිරිකර ගනිමින් තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට බලා සිටි ජනතාවට හෙට තව කුමන පුවතක් අසන්නට ලැබේදැයි සැක සහිතය. ඇතැම් විට එය තමන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මැම්බර්තුමාට රුපියල් කෝටි ගණනක් වටිනා අලුත් වාහනයක් කවුන්සලයෙන් ලැබිලා යන අලුත්ම පුවතක්ද විය හැකිය.


(LAKBIMA NEWS PAPER)

පෙට්‍රල්වලට වඩා වතුර ගණං ගියේ කොහොමද?

 alt
- වතුර ලීටරයක් රු.125යි - පෙට්‍රල් ලීටරයක් රු.117යි

බෝතල් කළ ජලය ශ්‍රී ලංකාවේ වෙළෙඳ‍පොළට එක්වී මේ ගෙවී යන්නේ දවෛනි දශකයයි. සැබැවින්ම බෝතල් ජලය වෙළෙඳ‍පොළට එන අවස්ථාවේ ඊට නිසි වෙළෙඳ‍පොළක් නිර්මාණය වී තිබුණේ නැත. ඒත් කෙටි කලක් තුළ පානීය ජල බෝතල් සමාජ අවශ්‍යතාවක් වන තරමට දුරදිග ගොස් ඊට සුදුසු වෙළෙඳ‍පොළක්ද නිර්මාණය කරගන්නට සමත් වූ බව රහසක් නොවේ.
ඔබ මේ ලිපිය කියවන මොහොතේදී පානීය ජලය යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී හමාරය. වර්තමානයේ පානීය ජලය බෝතල් කිරීම ඉහළ ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වන්නට රට පුරා ජල මූලාශ්‍රවලට වස මුසුවී ඇති බවට පැතිර යන මතය හේතුවී තිබේ. වස විස මුසු ජලය පානය කිරීමට ජනයා තුළ ඇති බිය තීව්‍ර කරන්නට රජරට ප්‍රමුඛව රට පුරා පැතිර යන වකුගඩු රෝගද හේතුවක් බව පැවසිය හැක.
අදින් දශකයකට පමණ පෙර රට පුරා බෝතල් කළ ජලය නිෂ්පාදනය කළ ස්ථාන 5000කට අධික ප්‍රමාණයක් වූ බව ඇසීමෙන් පවා ඔබ පුදුමයට පත්වන්නට හැක. නමුත් සැබෑ තත්ත්වය එයයි. සම්මත ප්‍රමිතියට අනුව බෝතල් කරන ලද ජලයේ අඩංගු විය යුත්තේ ආස්‍රැත ජලය පමණි. එහෙත් පෙර සඳහන් දහස් ගණනින් යුත් කම්හල්වලට එලෙස ආස්‍රැත ජලය බෝතල් ගතකිරීමට හැකියාව නොතිබුණි. ඊට හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශය පානීය ජල බෝතල් නියාමනය අරඹා ඉතා කෙටි කලකින් පන්දහසක් පමණ වූ නිෂ්පාදකයන්  ගණන දෙතුන් සියයකට අඩුවීමය. මේ වන විට පානීය ජල බෝතල් නිපැයුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලනය සහ පරිපාලන අංශය මගින් නියාමනය කෙරේ. බෝතල් කළ පානීය ජලය ස්වාභාවික ජලය යන වර්ගීකරණය යටතේ පානීය ජල බෝතල් නිෂ්පාදනය සිදුවෙයි. එලෙස නිෂ්පාදනය කරනා ජල බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්ය දැයි අප සොයා බැලුවෙමු. එහෙත් ප්‍රමිති ආයතනය පවසනුයේ පානීය ජල බෝතල් සඳහා ප්‍රමිතියක් ඇති නමුත් එය ලබා ගැනීම අනිවාර්ය නොවනා බවයි. සැබැවින්ම මෙය පුදුම උපදවන කතාවකි. අලෙවිය සඳහා ප්‍රමිතිය අනිවාර්ය භාණ්ඩ රැසක් වෙළෙඳ‍පොළේ තිබේ. ප්‍රමිතිය අනිවාර්ය එම භාණ්ඩ ලැයිස්තුව වෙනමම ගැසට් කර ඇති අතර ඊට පානීය ජලය ඇතුළත්ව නැත. මහජන සෞඛ්‍යයට එකහෙලා බලපාන පානීය ජලය පිළිබඳ ප්‍රමිතිය අනිවාර්ය විය යුතු බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අසීරු නොවේ. පානීය ජලය සඳහා ප්‍රමිතිය ලබාගැනීම අනිවාර්ය නොමැති රටක හෙට අනිද්දා වනවිට ජල ඇසුරුම් කරනා බෝතල්වලට ප්‍රමිතියක් ගෙන එන බව දැනගන්නට තිබේ.
එයද හතරබිරි කතාවක් ලෙස අප හඳුන්වන්නේ ජලයට නැති ප්‍රමිතියක් ඇසුරුම් කරනා බෝතලවලට කුමකටදැයි යන තර්කයේ සිටය. ප්‍රමිතියෙන් තොර ජලය ප්‍රමිතියෙන් යුතු බෝතලයකට දැමූ සැනින් එහි තත්ත්වය උසස් වේ යැයි බලධාරීන් සිතනවා විය හැක.
පාරිභෝගික අධිකාරියේ මිල නියම කිරීමේ අංශයද පවසනුයේ හෙට අනිද්දාට පානීය ජල බෝතල්වලටද පාලන මිලක් හඳුන්වා දෙන බවයි. එහෙත් දශක දෙකක් පානීය ජල බෝතල් දේශීය වෙළෙඳ‍පොළේ අලෙවි වී ඇති බව ඔවුන්ට අමතකව යෑම කනගාටුවකි.
වර්තමානයේදී පානීය ජල බෝතල් අලෙවි වන ස්ථානය අනුවද මිල වෙනස් වන බව වාර්තා වෙයි. පදික වේදිකාවේ රු. 100ත් 125ත් අතර මිලකට අලෙවි වන වතුර බෝතල් පසුගිය කාලයේ සුපිරි වෙළෙඳසල්වල රු. 200ට පමණ අලෙවි විය. ඒ පිළිබඳ කළ විමසීමකදී සුපිරි    වෙළෙඳසල් සේවිකාවක පවසා සිටියේ රු. 200ක් වැනි මිලට අලෙවි වූයේ විදේශයන්ගෙන් ගෙන ආ වතුර බෝතල් බවත්, මේ වන විට ඒවා වෙළෙඳ‍පොළේ නැති බවත්ය. “දැන් ඒවා තියෙන්නේ තරු පන්තියේ හෝටල්වල විතරයි” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඇගේ ප්‍රකාශය මේ ගවේෂණයේ නවතම ප්‍රවේශයක් හෙළි කළාය. ඒ මෙතරම් වතුර තිබෙනා රටකට පිටරටින් ගෙන ඒමේ කතාන්දරයයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ජලය පානය කිරීමට තරම් විශ්වාසයක් නොමැති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නිපදවන ජල  බෝතල් ලීටරය රු. 85 සිට 125 දක්වා පරාසයකට මිල වීම තුළ මතුවන ගැටලුව වනුයේ එතරම් මිලක් ගෙවන්නේ ජලයටද නොඑසේ නම් ජලය බහාලන බෝතලයට ද යන්නයි. ජලයට ප්‍රමිතිය ලබාගැනීම අනිවාර්ය නැති රටක ඊට ඇති එකම සාධකය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට යටත්වීම පමණි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයට යටත් වනුයේ ජල බෝතල් නිෂ්පාදනය පමණි. ගබඩා කිරීම, ප්‍රවාහනය වැනි කරුණු අඛණ්ඩව නියාමනය වන්නේ කෙසේද යන්න ගැටලු සහිතය.
බෝතල් කරන ලද අවස්ථාවේ මේ වතුරේ විෂබිජ නොතිබෙන්නට පිළිවන. එහෙත් මේවා ගබඩා කිරීමේදී මෙන්ම ප්‍රවාහනයේදීත් මේ තුළ විවිධ ආගන්තුක ද්‍රව්‍ය උත්පාදනයට ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම හිරු එළියට නිරාවරණය වීම නිසා ප්ලාස්ටික් විවිධ ප්‍රතික්‍රියාවන්ට බඳුන් වී ජලයට අහිතකර ටොක්සීන වර්ග එකතු වන්නට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. එසේම ජලයේ ඇත්තේ සියලු ඛනිජ ද්‍රව්‍ය ඉවත් කරන ලද උදාසීන ජලය නම් දිගු කාලයක් එවැනි ජලය භාවිත කිරීම මගින් මිනිස් සිරුර තුළ විවිධ ඛනිජ හිඟය නිසා විවිධ ගැටලු පැන නැගිය හැක. මෙය සලකා බැලිය යුතු ගැටලුවකි. එසේ නම් ප්‍රමිතිය පවා අනිවාර්ය නැති ජලයට අප පෙට්‍රල්වලට වඩා මිලක් ගෙවන්නේ ඇයි?
පානීය ජල බෝතල් සඳහා සමාජයේ ඇත්තේ පුදුමාකාර පිළිගැනීමකි. බහුතරයක් සිතනුයේ වෙළෙඳ‍පොළෙන් ජල බෝතලයක් මිලට ගෙන පවස නිවාගැනීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක් බවයි. තවත් උදවිය සිතන්නේ එමගින් තමුන් පූර්ණ ලෙස සෞඛ්‍යාරක්ෂිත වන බවයි. තව කෙනෙකුට එය ආඩම්බරයකි. තව අයට පානීය ජල බෝතල් විලාසිතාවකි. ජල බෝතලය අතට ගත් සැනින් ඔබට දිස්වන්නේ ලානිල් පැහැයකි. ඒ ‘නිල් කැටේට තියෙන වතුර’ යන අප සිතේ නිදන්ව ඇති හැඟීමම මතුකර එයට අපවම රවටාලීමකි. බෝතලයේ ජලය නිල් පාටට දිස්වන්නේ බෝතලය නිපදවන ප්ලාස්ටික් හරහා ජලය දිස්වන නිසා මිස එහි ඇති ජලය නිල්කැටයට පිරිසිදු නිසා නොවේ. මේ සියලු කරුණු සලකා බලනවිට පානීය ජලයේ මිල මෙතරම් ඉහළ යන්නේ එහි නිෂ්පාදන මිල මතම නොව පාරිභෝගිකයාගේ සදොස් මත හා ඔවුන් විසින්ම ගොඩනගනා පුහු විශ්වාස සහ අධික ඉල්ලුම නිසා විය හැකි බව අපට නිගමනය කරන්නට සිදුවෙයි.
සැබැවින්ම පානීය ජලය පිළිබඳ ඇති විශ්වසනීය බව බිඳ වැටීම පාරිභෝගිකයා ජල බෝතල්වලට හුරු කරන්නට ප්‍රබලව බලපෑ බව අපට පිළිගැනීමට සිදුවෙයි. එහෙත් මිලට ගෙන පානය කරනා ජලය ඇතැම් විට ජල සම්පාදන මණ්ඩලය මගින් පිරිපහදු කර ඔබ වෙත නළ මගින් ලබාදෙන ජලය තරම්වත් බිමට සුදුසු නොවනා බව තහවුරුව ඇත්තේ වරක් දෙවරක් නොවේ.
අවසාන වශයෙන් ඔබට පැවැසිය යුත්තේ ජල බෝතලයේ මිල මෙතරම් ඉහළ යෑමට හේතුවී ඇත්තේ පාරිභෝගික සමාජය ඊට ලබාදුන් අසීමිත ඉල්ලුම විනා බෝතල් කළ ජලයේ ගුණාත්මක බව හෝ එහි ප්‍රමිතිය ඉහළ යෑම නිසා නොවනා බවයි.
ජලය පානය කිරීමේදී ඔබේ ඉලක්කය පිරිසිදු ජලය පානය කිරීම නම් ඔබ කළ යුත්තේ උණුකර නිවාගත් ජලය පානය කිරීමය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කළ ක්‍රමයකි. ඕනෑම වෛද්‍යවරයෙකු වසංගත පැතිර යන කාලවල පවා උණුකර නිවාගත් ජලය පානය කරන්නයි ඔබට පවසන්නේ එබැවිනි. කිසිදු වෛද්‍යවරයෙකු බෝතල් වතුර බොන්නැයි ඔබට කියා නැති බව අපට සහතිකය. ඒ බෝතල් කළ පමණින් ජලය පිරිසිදු නොවනා බැවිනි.
අදින් දශක තුන හතරකට පෙර ජලයට මිල නියම කිරීම සලකනු ලැබුවේ මිනිස්කමට නිගා දෙන කතාවක් ලෙසටය. ජලයට දේවත්වය ලබා දුන් රටක අද ප්‍රමිතියෙන් තොර ජලය මිලවන අයුරු අපට පවසනුයේ සියලු දේ අලෙවි වන සමාජයක ජලයට පමණක් පාරිභෝගික භාණ්ඩයක් නොවී සිටිය නොහැකි බවද?






(නිර්මලා කුමාරි සේනාරත්න)(LAKBIMA)