අවුන් සාන් සූ කී බැරක් ඔබාමා හා වෙසක් සමය!
'ගසක සෙවණ සීතල යි දෙමවුපියන්ගේ සෙවණ ඊටත් වඩා සීතල යිගුරුවරුන්ගේ සෙවණත් ඒ සීතල දනවයි.
පාලකයාගේ සෙවණ තවත් සීතල යි
බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල සෙවණ ඒ සියල්ලට වඩා සීතල යි
බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික කොන්ග්‍රසයේ නායිකා හා රාජ්‍ය සභාවේ ප්‍රධානී අවුන් සාන් සූ කී විසින් ලියන ලද 'ප්‍රීඩම් ෆ්‍රොම් ෆියර් නමැති කෘතියේ ඇති මෙම සටහනින් බුදු දහම ඇසුරෙන් ලබන්නට හැකි සැනසීමේ තරම, එහි ගැඹුර මතු වන ලෙස සරලව දක්වා ඇත. සොබා දහමෙන් ලැබෙන සැනසීම මෙන් පාලකයාගේ රාජ්‍ය පාලනය ද ජන සමාජයට සිසිල දනවන්නක් විය යුතු බව ඇය එමඟින් පෙන්වා දෙයි. රාජ්‍ය පාලනයට හෝ දේශපාලනයට හෝ බුදු දහමෙන් ලැබෙන මඟ පෙන්වීම කෙබඳූ දැ යි එයින් ඉස්මතු කෙරේ. මේ කෘතිය ඇය ලියන්නේ නිවාස අඩස්සියට පත් ව සිටිය දී ය.
වසර 15ක නිවාස අඩස්සියෙන් නිදහස් වූවාට පසු, සූ කීව දුටු පළමු දිනයේ දී ඇය ගැන ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට දැනුණු හැඟීම ඔහු මෙවර ටයිම්. සඟරාවට ලියා ඇත. මෘදු බවින් යුතු කතා විලාසයක් සහිත, සරල මෙන් ම අධිෂ්ඨානශීලී හා අභිමානවත් කාන්තාවක වන ඇයට දරා ගැනීමේ ශක්තියෙන් අනූන එකී චරිත ලක්‍ෂණ පිහිටියේ බුදු දහමේ ආභාසයෙන් බව ජනාධිපති බැරක් ඔබාමා තම කෙටි ලිපියෙන් කියා පායි. මිලියන පනහක බුරුම ජනතාවට පමණක් නො ව සාධාරණත්වය පතන මිලියන ගණනක ලෝක ජනතාවට අවුන් සාන් සූ කී යනු ප්‍රාර්ථනාවේ ආලෝකයක් බව ද ජනාධිපති ඔබාමා තව දුරටත් ලියා තබයි.
ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා විසින් ම ලියන ලද මේ කතාව පළ වූයේ මැයි මාසයේ නිකුත් කළ පළමු ටයිම් සඟරාවේ ය.
බුදුන් වහන්සේගේ තෙමඟුල සමරමින් මේ වෙසක් සමයේ දී විවිධ දාන - මාන පින්කම්වල නියැලෙන ලොව පුරා බෞද්ධ ජනයාට තමන් මුල් තැන දෙන තොරණ, දන්සල්, වෙසක් කලාප, විවිධ සැරසිලි ආදී ආමිස පූජාව ගැන තරමට ම ප්‍රතිපත්ති පූජාව ගැන ද කල්පනා කරන්නට ජනාධිපති ඔබාමාගේ ලියවිල්ල අනුබල දෙයි. ආගමික ස්වරූපයෙන් අඩු, දාර්ශනික මඟ පෙන්වීමක් වන බුදු දහම, පිළිසරණක් නැතිව හතිවැටුණු හිත්වලට නිවීමක් සිසිලක් බව අඟවයි. විශේෂයෙන් ම භෞතික සම්පත් හඹා යෑම ලෝකයට පුරුදු කළ බටහිර දේශපාලනයට, ජනාධිපති ඔබාමාගේ එකී කරුණු දැක්වීම සැනසීමේ මඟ පෙන්වන්නක් වනු ඇත.
බුදු දහමේ සිසිල දැනීම ඇරඹෙන්නේ ඉවසීම මතිනි. බටහිර සංස්කෘතියට අනුව එකිනෙකා අතර හෝ විවිධ ජාතීන් අතර හෝ සමඟිය ඇරඹෙන්නේ එකිනෙකා අතින් සිදු වූ වරද ගැන සමාව ගැනීමෙන් වුව ද බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු ජනසමාජයක එකී සමඟිය ඇරඹෙන්නේ ඉවසීමෙනි. සමාව ගැනීමේ ප්‍රතිඵලය 'ප්‍රතිසන්ධානය' වන අතර, ඉවසීමේ ප්‍රතිඵලය 'සංහිඳියාව' වේ. තම හිතට දැනෙන සුවය හෝ සංතුට්ඨිය හෙවත් තමාගේ ම යහපත අනෙකා ඉවසන්නට ඇති හැකියාව මතින් තීන්දු වෙයි. එනම්: තමාගේ ම යහපත සැලසෙන්නේ අනෙකාගේ යහපත ගැන හිතන්නට පෙලඹීම මතයි. වසර 15ක් නිවාස අඩස්සියට පත් වීම හෙවත් දේශපාලනව වට කර පහර දීම අවුන් සාන් සූ කී දරා ගෙන නැගිටින්නේ මේ ඉවසීම මතිනි.
හැකි තරම් අත්පත් කර ගැනීම හෙවත් අනෙකා පරාජය කිරීම මේ ඉවසීමේ පිළිවෙතට විරුද්ධ පැත්ත යි. ජනාධිපති බැරක් ඔබාමා නියෝජනය කරන බටහිර සමාජය විද්‍යාවට හා තාක්‍ෂණයට මුල් තැන දෙන්නට වූයේ වැඩිවැඩියෙන් අත්පත් කර ගැනීමේ තරගය පහසුවෙන් ජය ගන්නා මාර්ග සොයනු පිණිස යි. ගසේ සිසිල හෝ සොබා දහමේ සිසිල හෝ බටහිර විද්‍යාව විසින් නොසලකා හැරියේ සොබා දහම මිනිසාට පාලනය කරන්නට ඇති තැනක් ලෙස සලකමිනි. එයින් සිදු වූයේ අසහනයෙන් පිරි තාක්‍ෂණික මිනිසකු ඉතිරි වී හිතේ සුවය හෝ හිතේ මිහිර හෝ ඈතට පලා ගිය ජන සමාජයක් බිහි වීම යි. අනෙකා ඉවසීම වෙනුවට අනෙකා හඹා යන එකී තරගයෙන් පිළිසරණක් නැතැ යි යන හැඟීමෙන් හතිවැටුණු ජන සමාජයක සංස්කෘතියට නෑකම් කියන රාජ්‍ය නායකයකු වන ජනාධිපති ඔබාමා, බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු අවුන් සාන් සූ කීගේ දරා ගැනීමේ හැකියාව හා ඇයගේ නිවුණු බව බුදු දහමෙන් ලද වටිනාකමක් ලෙස දකී. එසේ දැකීම යනු තමා ද බුදු දහමේ වටිනාකම දුටු බව වෙනත් අයුරකින් ප්‍රකාශ කිරීමකි. ඉවසීම නිසා අනෙකා කෙරෙහි උපදින මෛත්‍රිය, කරුණාව, රාජ්‍ය පාලකයාගේ සෙවණ සිසිල් බවට හරවන සොබා දහමේ උල්පත බව ජනාධිපති ඔබාමාටත් දැනුණා විය හැකි යි.
අනෙකා පරදවන තරගය වෙනුවට ඉවසීමෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම හෙවත් හිතේ මිහිර විඳ ගැනීම ගැන 'ධම්ම පදය' මෙසේ පැහැදිලි කර යි.
පළමු ව ජීවිතය ගැන දැඩි අධිෂ්ඨානයක් තිබිය යුතු යි. දෙවනු ව මනා සිහියක් තිබිය යුතු යි. තෙවනු ව එදිනෙදා ජීවිතයේ සියලු වැඩ කටයුතු නිවැරදි ව කළ යුතු යි. ඊළඟට කය හා මනස සංවර ව තබා ගත යුතු යි. ධාර්මික ජීවිතයක් ගත කළ යුතු යි. ජීවිතයට අප්‍රමාද බව තිබිය යුතු යි. එවිට යසස වර්ධනය වේ.
තමා ජීවත් වන සමාජයේ තමාට පිළිසරණක් රැකවරණයක් ඇතැ යි අන්තිම දුර්වල තැනත්තාට පවා දැනී යයි නම්, සමාජ ක්‍රමයක සාධාරණ බවට ඇති හොඳ ම මිනුම එය බව අවුන් සාන් සූ කී සිය 'ප්‍රීඩම් ෆ්‍රොම් ෆියර්' කෘතියේ සඳහන් කරයි.
සාධාරණ සමාජ ක්‍රමයක් ගොඩනඟන්නට යන ගමනේ වෙහෙස නිවන සිසිල බුදුන් වහන්සේගේ ඉගැන්වීම නමැති සෙවණින් ලැබෙනු ඇත.
No comments:
Post a Comment