Saturday, 7 May 2016

රුපිය‍ලේ බාල්දුවෙන් වාහන ආනයනය නවතී

තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට සිටි අයට තවත් හෙණ ගෙඩියක් පසුගියදා පතිත වූයේය. ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ‍පොළ හසුරුවන පෞද්ගලික ආනයනකරුවන් විසින් මේ හෙණගෙඩිය පතිත කරනු ලැබුවේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධව මෙම පුවත්පත් සාකච්ඡා කැඳවා තිබිණ.
ඔවුන් එදින ප්‍රකාශ කළ දේ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග මේ රටේ මහජනතාවගෙන්ද විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනු දක්නට ලැබේ.
අද පවත්නා ආණ්ඩුව බලයට ආවේ විවිධාකාරයේ ‍පොරොන්දු රැසක් ජනතාවට ලබාදෙමිනි. තමන්ටම කියා වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය පසුබිම සකසන බවද එම ‍පොරොන්දු අතර විය. රටේ ජනතාවගෙන් වැඩිදෙනකු දකින මේ සිහිනයෙන් ප්‍රයෝජනය ගැනීමට ඔවුහු ඒ පිළිබඳව මැතිවරණ කාලයේ වෙළෙඳ දැන්වීම්ද ප්‍රචාරය කළහ. නමුත් තමන්ගේ පළමු අයවැයෙන්ම රථවාහන සඳහා අයකරන බදු මුදල් ඉහළ දැමීමට රජය පියවර ගත්තේය. ඒ අනුව කිසිවකු බලා‍පොරොත්තු නොවූ මුදලකින් රථවාහන මිල ඉහළ ගියේය. අධික රථවාහන තදබදයට වාහන සීමා කිරීම අවශ්‍ය බවත්, රට පෙළන අධික ණය බරින් මිදීම මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් බදු මුදල් අවශ්‍ය බවත් කියමින් මුදල් අමාත්‍යවරයා රටේ ජනතාවගේ අනුකම්පාව පැතුවේය. මේ අතර වාහන ආනයනකරුවන් පුන පුනා කියා සිටියේ අධික බදු බර නිසා ඉහළ ගිය වාහන මිලදී ගැනීමට මේ රටේ ජනතාවට නොහැකි බවත් වාහන අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානද වසා දමන තත්ත්වයකට පත්වී ඇති බවත්ය.
ඇතැමුන්ට මෙය තළු මර මර රහකර කෑමට රසවත් මාර්තෘකාවක් වූවා සේම සැබෑ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි තවත් පිරිසකගේ හිත් රිදවන මාර්තෘකාවක් බවටද එය පත්වූයේය. මැයි මස 02 වැනිදා සිදු කෙරුණු බදු සංශෝධනයට අනුව තවදුරටත් රථවාහන සඳහා බදු වැඩි කිරීමක් නොකිරීමට රජය වගබලා ගත්තේ එබඳු තත්ත්වයක් යටතේය. එහෙත් ඉස්තාලය වසන විටත් අශ්වයා පැනගොස් තිබුණේය. ‘කොරේ පිටට මරේ’ කියන්නා සේ රටේ ආර්ථිකය තුලනාත්මකව පවත්වාගෙන යමින් රුපිය‍ලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාමට තවමත් යහපාලන ආණ්ඩුවට හැකියාවක් ලැබි නැත. ඊට වගකිව යුත්තේ පෙර පැවැති රජය බව වත්මන් රජය පුන පුනා කීවත් රටේ ජනතාවට ඒවායින් වැඩක් නැත. ඒ අසරණභාවයෙන්ද පීඩා විඳින්නේ තීන්දු තීරණ ගන්නා ආණ්ඩුවේ උදවියමය. ශ්‍රී ලංකා වාහන ආනයනකවරුන්ගේ සංගමය සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව සුළුවෙන් සැලකිය නොහැක්කේ ඔවුන් වටා නිත්‍ය වාහන ආනයනකරුවන් 500කට අධික සංඛ්‍යාවක් ගොනු වී සිටින නිසාය. ඔවුන් එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වා සිටියේද ඉතා සීරු මාරුවෙනි. කර්මාන්තයේ තවදුරටත් රැඳී සිටීමට නම් වෙළෙඳ ඇමැතිවරයා ප්‍රධාන කොටගත් සෙසු වගකිව යුත්තන් යාප්පුවෙන් තබා ගැනීම ඉතා වැදගත් බව ඔවුන් හොඳ හැටි දැන සිටියේය. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරනු වෙනුවට සංගම් දෙකම එදින ප්‍රකාශ කරන ලද්දේ විදේශ විනිමය උච්චාවචනය වීම හමුවේ වාහන ආනයනකරුවන් මුහුණදී සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින් මාස හයක කාලයකට බල පැවැත්වෙන පරිදි වාහන ආනයනය කිරීම නතර කර දැමීමට තමන් තීරණය කළ බවය. විශේෂයෙන්ම ජපන් යෙන් අගය මෑත කාලයේ ශීඝ්‍ර ලෙස උච්චාවචනය වීම වාහන ආනයනය කෙරෙහි විශාල වශයෙන් බලපා ඇතැයි පැවැසූ ආනයනකරුවන්ගේ සංගම් කියා සිටියේ මේ නිසා ලක්ෂ තුනහමාරක් ලක්ෂ 5ත් අතර මුදලකින් ජපන් වාහනයක මිල ඉහළ ගොස් ඇති බවය. දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන ඕනෑ තරම් ප්‍රමාණයක් ඇති නිසා විනිමය අනුපාතයේ වෙනස්වීමේ අවදානමෙන් මිදීමට තමන් ඉහත තීරණය ගත් බවද සංගමයේ නිලධාරීහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.
“එක අතකට මෙය ආණ්ඩුවටත් හොඳයි. මොකද රටේ මුදල් පිටරටට ඇදී නොයන නිසා. එතකොට විදේශ සංචිත මුදලත් ආරක්ෂා වෙනවා”
සංගමයේ නිලධාරීන් එදා එසේ කීවේ හදවතට එකඟව දැයි අපි නොදන්නෙමු. නමුත් තවත් පසෙකින් ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නතර කළහොත් රජයට අහිමි වන බදු ප්‍රමාණය ගැනද සිතා බැලිය යුතුය.
මේ සියලු කරුණු කාරණාවන්ගෙන් අවසානයට තැලෙන්නේ බදු ගෙවන මහජනතාවය. රජයේ ආදායම වැඩිකර ගන්නට පනවන විවිධ බදු නියමින් හෝ අනියමින් අවසානයට ගෙවන්නේ ඔවුහුය. එසේම සතෙන් සතේ ඉතිරි කර  කුඩා මෝටර් රථයක් හිමිකර ගන්නට පෙරුම් පිරූ මෙරට මධ්‍යම පාන්තිකයා බොහෝ දුක් මහන්සියෙන් මුදලක් ඉතිරිකර ගනිමින් තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට බලා සිටි ජනතාවට හෙට තව කුමන පුවතක් අසන්නට ලැබේදැයි සැක සහිතය. ඇතැම් විට එය තමන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මැම්බර්තුමාට රුපියල් කෝටි ගණනක් වටිනා අලුත් වාහනයක් කවුන්සලයෙන් ලැබිලා යන අලුත්ම පුවතක්ද විය හැකිය.


(LAKBIMA NEWS PAPER)

No comments:

Post a Comment