උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඇයි?
විසිපස් වසරකට පසු ගමට පැමිණි ඔවුහු යළිදු සිය ඉඩම්වල සීමා මායිම් ලකුණු කරති. ගඩොලින් ගඩොල බැඳෙමින් ඔවුන්ගේ ගෙවල් දොරවල් ඉදිවේ. සමහරු මුහුදු රස්සාවට යාමට දැල් වියති. යාපනයේ සරු සාර පසේ නැවුම් සුවඳ දසත පැතිරෙන්නේ යළිදු වරක් ඒ බිමේ ගොවිතැන් බත් කෙරෙන බවට හඟවන්නාක් මෙනි. සැබැවින්ම ඔවුන්ට ගොවිතැන් බත් කර දිවි සරු කරගන්නවා මිස ඊළමක් අවශ්‍ය වූයේ නැත. එනමුත් ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය ඔවුන්ගේ සිහින බොඳකර දැම්මේය. එල්.ටී.ටී.ඊ. ඊළම වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත් විට එමානුවෙල්ලාට උපන් බිම අහිමි විය.
ඒ එක්දහස් නවසිය අනූව වසරය. ප්‍රේමදාස රජය හා එල්.ටී.ටී.ඊ. ය අතර වූ සාම සාකච්ඡා අවසන් කළ කොටි ත්‍රස්තවාදීහු 1990 ජුනි 10 වැනිදා මඩකලපුව පොලීසියට ප්‍රහාරයක් එල්ල කරමින් දෙවැනි ඊළාම් යුද්ධය ඇරඹූහ.
ඒ අතරේ සාම සාකච්ඡා සඳහා යාපනයට පැමිණ සිටි එවකට අධිකරණ ඇමැතිවරයා වූ ෂාවුල් හමීඩ් 1990 ජුනි 15 පලාලි ගුවන් කඳවුරෙන් කොළඹ බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී කොටි පලාලි කඳවුරට මෝටාර් ප්‍රහාර එල්ල කළහ. මේ අතර 1990 ජුනි මස 19 වැනිදා යාපනය කොටුවේ පිහිටි යුද හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය.
මෙම සිද්ධීන් පෙළ නිමා වීමෙන් පසුව උතුරේ හමුදා කඳවුරු ආරක්ෂා කර ගැනීම සඳහා නව ක්‍රියාමාර්ගය රැසක් ගැනීමට ත්‍රිවිධ හමුදාවට සිදුවිය. මේ නිසා එතෙක් ආරක්ෂිත කලාප බවට පමණක් සීමාකර තිබූ හමුදා කඳවුරු අධි ආරක්ෂිත කලාප බවට පත්විය. එකල අධි ආරක්ෂිත කලාප පිහිටුවීමේ මූලික අරමුණ වූයේ එල්.ටී.ටී.ඊ.යේ මෝටාර් ප්‍රහාරවලින් ආරක්ෂා වීමයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිෂ්පාදනයක් වූ මෝටාර් විදින අවිය ට්‍රැක්ටර්වල සවිකර ගත් කොටි හමුදා සෙබළුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාර සමග ආරක්ෂක කඳවුරු වටා පදිංචි වී සිටි සාමාන්‍ය ජනතාව සිය ගෙවල් දොරවල් අතහැර වන්නියට පළා ගියෝය. ඇතැමෙක් විදේශගත වූහ. මේ නිසා ජනයාගෙන් ශූන්‍ය වූ කඳවුරු වටා පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප බවට පත් කිරීමට කිසිදු බාධාවක් නොවීය.
එසේ පිහිටු වූ පලාලි අධි ආරක්ෂිත කලාපයේ සීමාව එමානුවෙල්ලාගේ ගම වූ වලලායි පසුකර තොන්නමාරු දක්වා පැතිර ගියේය. තවත් පැත්තකින් එය තෙලෙප්පලෙයි වසම දක්වා විහිදුණි. තෙලෙප්පලෙයි පිළිකා රෝහලද අධි ආරක්ෂිත කලාපයට නතුවිය. අධි ආරක්ෂිත කලාපය වටා බංකර් පෙළක් ඉදිවිය.
අධි ආරක්ෂිත කලාපයන් ලෙස හැඳින්වෙන්නේ විශේෂයෙන් ආරක්ෂා කරන ප්‍රදේශයකි. සාමාන්‍යයෙන් ඕනෑම හමුදා කඳවුරක් අවට ඇති ප්‍රදේශය ආරක්ෂක භූමියකි. සතුරු ප්‍රදේශයක පිහිටි හමුදා කඳවුරුවල අවදානම වැඩි වන බැවින් ඒ අවට ප්‍රදේශ අධි ආරක්ෂිත ප්‍රදේශ බවට පත්වේ. මෙම කලාපවල භූමි සීමා මායිම් වෙනස් විය හැකි නමුත් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළුවිය හැක්කේ හඳුනාගත් අවසර ලබාගත් පුද්ගලයන්ට පමණකි. මේ නිසා අනවසරයෙන් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළු වන්නන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමේ අයිතිය හමුදාව සතුව තිබේ.
අධි ආරක්ෂිත කලාපවලට ඇතුළු වන්නට උත්සාහ ගන්නා අයට අවවාද කිරීමේ පටන් වෙඩි තැබිම දක්වා බලයක් මෙමගින් හමුදා සෙබළුන්ට ලැබේ.
අධි ආරක්ෂිත කලාපයක් පවත්වාගෙන යාමේ මූලික අරමුණ වන්නේ එම කලාපයේ තිබෙන හමුදා කඳවුරකට එල්ල විය හැකි සතුරු ප්‍රහාරයක් කල්තියාම මැඩපැවැත්වීමය. උදාහරණයක් ලෙස සතුරු ප්‍රදේශවල පිහිටි බොහෝ හමුදා කඳවුරු අවට කිලෝ මීටර පහක පමණ දුරක වටපිටාව හමුදාව විසින් තම පාලනය යටතේ පවත්වාගෙන යනු ලැබේ.
එකල එල්.ටී.ටී.ඊ.යට පහසුවෙන් ගෙන යා හැකි මිලි මීටර් 81 මෝටාර් මගින් මීටර් හාරදහසත්, පන්දහසත් අතර ප්‍රදේශයකට පහරදිය හැකිය. මේ නිසා කඳවුරු අවට කිලෝ මීටර් පහක් තම පාලනය යටතේ තබා ගැනීම මගින් මෝටාර් ප්‍රහාර වළක්වා ගැනීමට හැකියාව ලැබුණි. එසේම තම කඳවුර වෙත එල්ල වන සතුරු ප්‍රහාරයන්ට කිලෝ මීටර් ගණනාවක් ඈතක සිට මුහුණදීම මගින් සතුරු ප්‍රහාර නිෂ්ඵල කර ගැනීමට මෙමගින් හැකි විය.
යාපනයේ අධි ආරක්ෂිත කලාප පිහිටුවනු ලැබුවේ 1995 වසරේ සිදු කළ 'රිවිරැස' මෙහෙයුමෙන් පසු යාපනයට සතුරන්ට ඇතුළු වීමට ඇති මාවත වසා දමනු පිණිසය.
රිවිරැස මෙහෙයුමට පෙර යාපනය අර්ධද්වීපයේ පැවැත්වුණු ප්‍රධානම කඳවුරු වූයේ පලාලි හා අලිමංකඩ කඳවුරු සංකීර්ණයන්ය. ගුවන් තොටුපළ සමග යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පිහිටි පලාලි යාපනයේ තිබූ වැදගත්ම හමුදා කඳවුර විය. චන්ද්‍රිකා රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති සටන් විරාමය 1995 අප්‍රේල් 18 වැනිදා බිඳවැටීමෙන් පසු පලාලි කඳවුරට පහරදීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණ විය. මේ නිසා වරින් වර ඔවුහු බර ආයුධ උපයෝගී කරගෙන කඳවුරට පහර දුන්හ. මේ නිසා වරින් වර මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පලාලි ආරක්ෂක කලාපය පුළුල් කිරීමට හමුදාවටද සිදුවිය. මේ නිසා ඒ අවට ප්‍රදේශවල උප කඳවුරු පිහිටුවනු ලැබිය.
මේ අතර මුලතිව් කඳවුර බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස එල්.ටී.ටී.ඊ.ය අතට කාලතුවක්කු ලැබිණි. මේ නිසා කිලෝ මීටර් තිහක දුරක පවා සිට හමුදාවන්ට පහර දීමේ හැකියාව එල්.ටී.ටී.ඊ.යට ලැබුණි. 2000 වසරේදී අලිමංකඩ බිඳවැටීමෙන් පසු ඉදිරියට ගමන් කළ ත්‍රස්තවාදීන් සිය කාලතුවක්කු මගින් යාපනය නගරයට හා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයටත් පහර දීමට උත්සාහ කළහ. මේ නිසා උතුරේ සිටි හතළිස් දහසක් පමණ වූ හමුදා සෙබළුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්විය.
මේ අනුව යාපනය අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප ගණනාවක් පවත්වාගෙන යාමට හමුදාවට සිදුවිය. මේ අනුව කිලාලි, නාගර්කෝවිල්, මනල්කාඩු, අච්චුවේලි, චාවකච්ච්ෙරි, අරියාලේ, යාපනය, මණ්ඩතිව්, කරෙයි නගර්, තෙලිප්පලෙයි, කන්කසන්තුරේ, පලාලි, වල්ලායි, පේදුරුතුඩුව, කොළොම්බුතුරෙයි ආදී ප්‍රදේශ දැඩි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරිණි.
ඉහත කී ආරක්ෂිත කලාප අතුරෙන් විශාලතම අධි ආරක්ෂිත කලාපය වන්නේ පලාලි අධි ආරක්ෂිත කලාපයයි. පලාලි ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා යානා ගුවන් යානා නාශක මිසයිල හා අනෙකුත් ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම මෙහි ඇති අරමුණයි.
අධි ආරක්ෂිත කලාප සම්බන්ධයෙන් 2002 සාම සාකච්ඡාවලදී බරපතළ ප්‍රශ්න උද්ගත විය. මේ සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ වාර්තාව එල්.ටී.ටී.ඊ. සංවිධානය තරයේ ප්‍රතික්ෂේප කළේය. මේ නිසා රජය ඉන්දීය යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලුතිනන් ජෙනරාල් සතිස් නම්බියාර් මහතාගේ උපදෙස් පැතීය.
අනතුරුව මෙරට පැමිණි සතිස් නම්බියාර් මේ පිළිබඳව ආරක්ෂක හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා කළේය. එහිදී හමුදා ප්‍රධානීන් පෙන්වා දී තිබුණේ ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු ප්‍රහාර වැළැක්වීම සඳහා අධි ආරක්ෂක කලාප යම් මට්ටමකට පවත්වා ගෙන යා යුතු බවයි. එසේ පවත්වාගෙන ගිය අධි ආරක්ෂිත කලාප යුද්ධයෙන් පසු ලිහිල් කෙරුණේ දෙමළ ජනතාවට යළි උපන් බිම්වල අයිතිය ලබා දීමටය. එනමුත් ඒ සංවේදී කතාව දකුණේ පැතිර ගියේ වෙනත් ආකාරයටය.
මැයි මාසයේ තෙවැනි සතියේ දිනක ගාලු නගරය හරහා යුද හමුදා රිය පෙළක් මාතර දෙසට ධාවනය වෙමින් තිබුණේය. එම රථ පෙළේ තිබුණෙ කාලතුවක්කු හා යුද ටැංකිය. ගාලු බස්නැවතුම්‍පොළේ සිටි මැදිවියේ කාන්තාවක් මේ හමුදා වාහන පෙළ දුටු ගමන්ම මෙසේ කීවාය.
ඔන්න යහපාලනේ. උතුරේ හමුදා කඳවුරු ගලවලා කොටින්ට යාපනය දීලා සෙබළු දැන් දකුණට එනවාකාන්තාවගේ ඒ කතාවට බස්නැවතුම්‍පොළේ සිටි තරුණයකු පිළිතුරු බැන්දේ එසැණිනි. බොරු කියන්න එපා ඇන්ටි. ඔය කාලතුවක්කු, යුද ටැංකි අරන් යන්නේ මාතර රණවිරු පෙළපාළියට ඔහු උත්තර දුන්නේය.
මේ කාන්තාව පමණක් නොව දකුණේ ඇතැමුන් හිතන්නේ උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරමින් තිබෙන්නේ එල්.ටී.ටී.ඊ.යට යළි උතුර දීමට බවය. එබැවින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම මේ දිනවල දකුණ ගිනි තියන ආන්දෝලනාත්මක මාතෘකාවකි. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කඳවුරු ඉවත් කිරීමේ ගෝනි බිල්ලා පෙන්වමින් කියන්නේ ආණ්ඩුව කොටියාට රට පාවා දෙමින් සිටින බවය. ඒ අතරතුරේ හිටපු ජනපතිවරයාද රැස්වීමකදී කීවේ උතුරේ යළි ඊළාම් කොඩි ඔසවා ඇති බවය. ඇත්තටම උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ කොටියාට රට දෙන්නටද?
ඒ ප්‍රශ්නයට උත්තර සොයන්නට නම් යාපනය අර්ධද්වීපයට යා යුතුය. වර්ග කිලෝ මීටර් එක්දහස් දෙසිය අසූ දෙකකින් සමන්විත යාපනය අර්ධද්වීපයේ ජනගහනය හයලක්ෂ හැටපන්දහස් හයසිය අනූඅටකි. ඒ බිමේ ත්‍රිවිධ හමුදාවේ මර්මස්ථානය වූයේ පලාලි අධි ආරක්ෂිත කලාපයය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, පලාලි ගුවන් ධාවන පථය හා ගුවන් කඳවුර, කන්කසන්තුරේ උතුරු නාවික ආඥාපති මූලස්ථානය පිහිටියේ මේ අධි ආරක්ෂිත කලාපයේය. එය අක්කර එකොළොස් දහස් හයසිය විසිනවයක් පුරා විහිදුණු විශාල කඳවුරු සංකීර්ණයකින් සමන්විතව තිබුණි.
පලාලි අධි ආරක්ෂිත කලාපය දෙදහස් නවය වනතුරා නොවෙනස්ව පැවතුණි. යුද්ධය නිම වීමෙන් පසු අධි ආරක්ෂිත කලාපය යන වදන වෙනුවට ඒ බිම පලාලි හමුදා ජනපදය යනුවෙන් හැඳින්වීමට පටන් ගත්තේය. එක්දහස් නවසිය අනූහයේ සිට අක්කර එකොළොස් දහස් හයසිය විසිනවයක් පුරා විසිරී තිබූ පලාලි හමුදා ජනපදය මේ වන විට අක්කර පන්දහස් තුන්සිය හැත්තෑ තුන දක්වා අඩු වී තිබේ. ඒ පලාලි හමුදා ජනපදයට අයත්ව තිබූ අක්කර හයදහස් දෙසීය පනස් අටක් නැවත සාමාන්‍ය ජනතාව අතර බෙදා දීම නිසාය. ඒ යුද්ධය අවසන් වීමෙන් පසු තවදුරටත් මේසා විශාල ප්‍රදේශයක අධි ආරක්ෂක කලාපයක් පවත්වාගෙන යාමේ තේරුමක් නැති බැවිනි. හැරත් දැන් එල්.ටී.ටී.ඊ.යේ මෝටර් හෝ කාලතුවක්කු තර්ජන නැත. දකුණේ ඇතැම්හු යහපාලන ආණ්ඩුවෙන් කොටින්ට හමුදා කඳවුර දී ඇති බවට ගෝනි බිල්ලෙකු ලෙස පෙන්වන්නේ මේ සිද්ධියය.
කෙසේ නමුදු මේ ඉඩම් බෙදා දීම ආරම්භ කර ඇත්තේ දෙදහස් දහයේදීය. එම වසරේ ඔක්තෝබර් විසිඅටවැනිදා අක්කර තුන්සිය හැත්තෑවක්ද නොවැම්බර්
පළමු වැනිදා අක්කර එක්දහස් නවසිය පනස් දෙකක්ද දෙදහස් එකොළහේ මැයි නව වැනිදා අක්කර එක්දහස් නවසිය හැත්තෑ එකක්ද ඔක්තෝබර් හය වැනිදා අක්කර තුන්සිය හතළිස් පහක්ද නොවැම්බර් විසි නව වැනිදා අක්කර හයසිය දාහතක්ද නැවත සාමාන්‍ය ජනතාවට භාරදී තිබේ. අවසන් වරට පලාලි හමුදා ජනපදය සතුව තිබූ ඉඩම් භාර දී ඇත්තේ දෙදහස් පහළොවේ අප්‍රේල් දහ වැනිදාය. එදින අක්කර දාහක් නැවත භාර දී තිබේ.
පලාලි හමුදා ජනපදයේ මෙම ඉඩම් ඇතුළුව මුළු යාපනය අර්ධද්වීපයේම මේ වන විට ජනතාවට නැවත බාරදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර දහනවදහස් එකසිය පනස් නවයකි. තෙලෙප්පලෙයි පිළිකා රෝහල, කඩ්ඩුවාන්, වලලායි, තොන්නමාරු, වාසවිලාන් දකුණ ඇතුළු ප්‍රදේශ රැසක් දැන් යළිදු වරක් ජනතාවට ලැබි තිබේ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පවසන ආකාරයට දෙදහස් නවයේ මැයි මාසය වන විට යාපනය අර්ධද්වීපයේ ස්ථානගත කර තිබූ යුද හමුදා කඳවුරු ගණන එකසිය පනස් දෙකකි.
යුද්ධය අවසන් වූ දෙදහස් නවයේ මැයි මාසයේ සිට මේ දක්වා එම කඳවුරු ගණන අනූ තුනක් දක්වා ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබේ. යාපනය ආඥාපතිවරයා කියන්නේ එසේ කඳවුරු අඩු කිරීම හෝ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් නැවත බෙදා දීම යාපනයේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන බවය.
යාපනයේ විතරක් නොවේ රටේ හැම තැනම හමුදා ජනපද තිබෙනවා. ජාතික ආරක්ෂාවට ගන්නා තීරණ අනුව එම කඳවුරු අඩු වැඩි වෙන්න පුළුවන්. යුද්ධය අවසන් වූ පසුව ජනතාවට නැවත පදිංචි වීමට තමයි මෙම ඉඩම් නැවත භාර දුන්නේ. නමුත් බොහෝ පිරිසක් තවමත් පදිංචියට ඇවිත් නෑ. ඊට හේතුව ඔවුන් විදෙස්ගතව සිටීමයි.
පලාලි ඉඩම් බෙදා දුන්නත් කන්කසන්තුරේ වරාය, ගුවන් තොටුපොළ, තෙල් සංස්ථාව, ගුවන් හමුදාව, නාවික හමුදා කඳවුරු මෙන්ම යුද හමුදාවේ යාපනයේ පරිපාලන කටයුතු කෙරෙන ආරක්ෂක සේනා මූලස්ථානයට අවශ්‍ය භූමිය තවදුරටත් එසේ තිබෙන බව යාපනය ආඥාපතිවරයා පවසන්නේය.
මිහිරි ෆොන්සේකා
No comments:
Post a Comment